බන්ධනාගාර රුඳවියන්ගේ ගැටලු  සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

බන්ධනාගාර රුඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

August 7, 2026   06:22 pm

බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

මෙරට බන්ධනාගාර 33හිම රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, රැඳවියන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.

ඒ අනුව, බන්ධනාගාර 33ටම අදාළව බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඉදිරි සතියේදී ස්ථාපිත කිරීමට නියමිත අතර ඔවුන් බන්ධනාගාර රැඳවියන් සමගද තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.