කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර දෙකෙහිම තත්ත්වය පාලනය කෙරේ
August 7, 2026 04:36 pm
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර දෙකෙහිම පාලනය මේ වන විට මුළුමනින්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ අද උදෑසන නොසන්සුන්කාරී වූ මෙම බන්ධනාගාර දෙක මේ වන විට මැඩපවත්වා ඇති බවය.
අද (07) උදෑසන කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර පසුව එය මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය තුළද නිර්මාණය විය.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයෙන් කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 13 දෙනෙකු රෝහල් ගත කර තිබූ අතර දෙදෙනෙකු ජීවිතක්ෂයටද පත්විය.
මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේද නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර පසුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්රහාරයක්ද එල්ල කරනු ලැබීය.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් කැරලි මර්දන ඒකකය, යුද හමුදාව සහ ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමටද සිදුවිය.
කෙසේ නමුත් නොසන්සුන්කාරී වූ බන්ධනාගාර දෙකෙහිම පාලනය මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති අතර බන්ධනාගාර දෙකෙහිම ආරක්ෂාව තර කිරීමටද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
