ඉන්දිය ධීවරයින් 27ක් මෙරට බන්ධනාගාරවල
August 7, 2026 04:11 pm
2026 වසරේ ජූලි මස අවසන් වනවිට තමිල්නාඩු ධීවරයින් 27 දෙනෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින බව ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් පවසයි.
ලෝක් සභාවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම තමිල්නාඩු ධීවරයින්ගේ බෝට්ටු 249ක් ද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ පවතින බව ද ඔහු අනාවරණ කර සිටියේය.
මේ අතර තම රජය ඉන්දිය ධීවරයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව ද ඔහු කීය.
ධීවරයින් සහ ධීවර බෝට්ටු කඩිනමින් නිදහස් කිරීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම ඇතුළු මෙම ගැටලු, ද්විපාර්ශ්වික යාන්ත්‍රණ, රාජ්‍ය තාන්ත්‍රික මාර්ග සහ විවිධ නිල සහ ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා හරහා ශ්‍රී ලංකා රජය සමඟ රජය නිරන්තරයෙන් සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
එමෙන්ම 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ මෙරට නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇති ධීවරයින් සංඛ්‍යාව 1,554කි.
ඉන් ධීවරයින් දස දෙනෙකු පමණ ආරක්ෂක අංශවලට පහරකෑමට ලක්ව ඇති බව සඳහන්ය.
