පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවාස වීඩියෝ කළ අයෙකු අත්අඩංගුවට

පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවාස වීඩියෝ කළ අයෙකු අත්අඩංගුවට

August 7, 2026   11:42 am

කොළඹ පිහිටි පොලිස්පතිවරයාගේ නිල නිවස හා අගවිනිසුරුවරයාගේ නිල නිවස අවට මාර්ගය වීඩියෝ ගතකළ පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් ඊයේ (6) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වීඩියෝ ගතකිරීමට යොදාගත්  ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත

සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු  මෝටර් රථය නවතා පොලිස්පතිවරයාගේ නිල නිවස අසල මාර්ගයේ සිට වීඩියෝ ගත කරන බවට ප්‍රධාන දොරටුවේ රාජකාරී යෙදී සිටි විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරියෙකුට නිරීක්ෂණය වී ඇත

එම නිලධාරියා විසින් ඒ ආසන්නයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු දැනුම්වත් කිරීමෙන් අනතුරුව, ඔහු විසින් කොළඹ හදිසි ඇමතුම් අංශය දැනුවත් කර තිබේ.

කොළඹ හදිසි ඇමතුම් අංශයේ දැනුම් දීම අනුව ක්‍රියාත්මක වූ කුරුඳුවත්ත පොලිසි ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරක රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ විමර්ශන පවත්වා  සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ නිල නිවස සහ ඒ අවට මාර්ගය මෙන්ම අගවිනිසුරුතුමාගේ නිල නිවස සහ ඒ අයට මාර්ගය සටහන්ව තිබූ බව පොලීසිය පවසයි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, විනෝදාංශයක් ලෙස මෙලෙස වීඩියෝ කළ බවය.

කෙසේ වෙතත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචි ස්ථානය සහ වෙනත් පරස්පර අදහස් ප්‍රකාශ කළ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය

සැකකරු අළුබෝමුල්ල අරුග්ගොඩ නිවුඩාව පාර පදිංචි සැකකරු 40 හැවිරිදි අයෙක් බව සඳහන්ය.

කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.