විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ කාදිනල් හිමි දැනුම්වත් කෙරේ
August 6, 2026 06:26 pm
ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් ඊට සැලකිය යුතු කාලයක් ගතවන බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමාජය තුළද පුළුල් සංවාදයක් පැවැත්විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමග අද (06) කොළඹ අගරදගුරු මැදුරේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුවය.
අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිසංස්කරණ පිළිබඳව කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව ව්‍යවස්ථා සංශෝධනයකට එළැඹීමට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම වැනි කඩිනම් ගැටලුවලට විසඳුම් ලබාදීම රජයේ ප්‍රමුඛතාව වේ.
සියලු මැතිවරණ නියමිත වේලාවට පැවැත්වීම රජයේ ස්ථාවරය බවත්, ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය ද හැකි ඉක්මනින් පැවැත්වීමට අපේක්ෂාව බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
එමෙන්ම ප්‍රමාදයකින් තොරව ජනතාවට යුක්තිය ඉටුකිරීම, අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ක්ෂේත්‍රයේ පවතින වත්මන් අභියෝග සඳහා රජය ගෙන ඇති හා ඉදිරියට ගැනීමට නියමිත සාධනීය පියවර පිළිබඳවද අමාත්‍යවරු විසින් කාදිනල් හිමිට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබේ.
අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ සිදුවන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ පාර්ශ්ව විසින් අසත්‍ය තොරතුරු බෙදාහැර ඇති බවත්, ඒ පිළිබඳ නිවැරදි හා සත්‍ය තොරතුරු පිළිබඳ අගරදගුරු හිමි දැනුම්වත් කිරීමද මෙම හමුවේ ප්‍රධාන අරමුණක් වූ බවද අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
