සාගරගේ ප්‍රකාශය ගැන පොලීසිය අධිකරණයට කරුණු දක්වයි

සාගරගේ ප්‍රකාශය ගැන පොලීසිය අධිකරණයට කරුණු දක්වයි

August 6, 2026   04:06 pm

පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්  මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. 

ඒ අනුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 24 වෙනිදා වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධිකරණ නියෝග කර ඇත. 

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 17661/2026 දරන නඩු අංකය යටතේ අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. 

එහිදී  අදාළව විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළ අතර ඊට අධිකරණයේ අවසරය හිමිව ඇති බව සඳහන්ය. 

ඒ අනුව විමර්ශන සිදු කර ඉදිරි ක්‍රියාමාර්ගය ගන්නා බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේය. 

මේ අතර  සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස්පතිවරයා සම්බන්ධව සිදු කළ තර්ජනාත්මක ප්‍රකාශයක් පිළිබඳව සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලීසියට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මාධ්‍ය ආයතන 6කට නියෝග කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දී ඇත‍.