සාකච්ඡා රැසකට පසු ඉන්දීය විදේශ ලේකම් දිවයිනෙන් පිටව යයි
August 6, 2026 06:46 am
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා සිය නිල ශ්‍රී ලංකා සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
සංචාරය අතරතුර ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ අමාත්‍යාංශ ලේකම් අරුණි රනරාජා යන අයවද හමුවී දෙරට අතර සහයෝගීතාව, සංවර්ධන ව්‍යාපෘති, වෙළෙඳාම, ආයෝජන හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා සිදුකර තිබුණි.
එහිදී, දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාව විසින් පිරිනමන ලද අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයේ කොටසක් වන අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායි ණය පහසුකම් සම්බන්ධයෙන් වන ගිවිසුම් හුවමාරු කර ගෙන තිබුණි.
මෙම සහනදායි ණය පහසුකම් නැවත ඉදිකිරීමේ කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය සහ සුළි කුණාටුවෙන් අනතුරුව මතු වූ අවශ්‍යතා සපුරාගැනීමට අවැසි ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම සඳහා උපකාරී වනු ඇත.
මීට අමතරව, උතුරු හා නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයන් සහ මුස්ලිම් දේශපාලන නියෝජිතයන් හමුවූ මිස්රි මහතා, දේශපාලන බලය බෙදාහැරීම, දෙමළ ජනතාවගේ සුබසාධනය සහ ඉන්දීය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා ඊයේ (05) දිනයේ දීම දිවයිනෙන් පිටව ගොස් තිබුණි.
ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියත් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳවත් මෙහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වුණි.
වතුකර ප්‍රජාව සදහා ඉන්දියානු නිවාස ව්‍යාපාතියේ 4 වන අදියර ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරිම පිළිබඳව සාකාච්ඡා වී තිබේ.
ඉන්දීය ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ ගිවිසුම කඩිනමින් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ ලේකම්වරයා සහ මෙරට නායකයින් අතර එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වුණි.
ඉන්දීය ධීවරයින්ට අදාළ ගැටලු පිළිබදව මෙහිදි සාකච්ඡා වී ඇති අතර මෙරට අත්අඩංගුවේ පසුවන ධීවරයින් කඩිනමින් නිදහස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න ලෙස ඉන්දීය විදේශ ලේකම්වරයා ඉල්ලීමක් ද කර ඇතැයි ද සඳහන්ය.
