අලි - මිනිස් ගැටුමට නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක්

අලි - මිනිස් ගැටුමට නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක්

August 5, 2026   10:58 am

අලි - මිනිස් ගැටුම් කළමනාකරණයට අදාළ නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා පත් කළ අධීක්ෂණ කමිටුව ඊයේ (04) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී තිබේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අලි - මිනිස් ගැටුම බහුලව පවතින දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ද එක්ව සිටියහ.

මෙහිදී ප්‍රජා සහභාගීත්වය මත පදනම් වූ අලි - මිනිස් ගැටුම් කළමනාකරණ වැඩපිළිවෙළක් සකස් කිරීම, අලි මංකඩ නිදහස් කිරීම සහ අලි සුපෝෂණ කලාප පිහිටුවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

2020 වසරේ සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය වූ අතර, පසුගිය වසර කිහිපය තුළ වන අලින්ගේ සංක්‍රමණ රටා, වනාන්තර ආවරණය සහ කෘෂිකාර්මික ව්‍යාප්තියේ සිදුවූ වෙනස්කම් සැලකිල්ලට ගනිමින් නව දත්ත මත පදනම් වූ සැලැස්මක් සකස් කිරීමට තීරණය කර තිබේ.

මේ අතර, නව සැලැස්ම සකස් වන අතරතුර අලි මංකඩ නිදහස් කිරීම, "වනස්පති" ජාතික වැඩසටහන යටතේ අලි සුපෝෂණ කලාප ඇති කිරීම, අලි කළමනාකරණ රක්ෂිතවල නීති ක්‍රියාත්මක කිරීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබාදීම ඇතුළු ක්‍රියාමාර්ග රජය දැනටමත් ආරම්භ කර ඇති බවද පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.