ඝාතනයකට සැරසුණු පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
August 5, 2026 06:22 am
බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව ඊයේ (04) දහවල් සිදු කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක්, කඩුවක් සහ කිණිස්සක් සොයාගෙන ඇති අතර, පසුව ඔහු බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමේ නිරත අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි.
තවද, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරමින් කඩුවක් හා කිණිස්සක් සමඟ නිවසක රැඳී සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුට මීට පෙරද පැහැර ගැනීම්, පහරදීම්, පුද්ගලයන් කපාකොටා බරපතළ තුවාල සිදු කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයක නඩු රැසක් පවතින බවද අනාවරණය වී තිබේ.
