පොහොට්ටුවේ මහලේකම් සාගරට වැඩ වරදියි

පොහොට්ටුවේ මහලේකම් සාගරට වැඩ වරදියි

August 4, 2026   06:12 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවම් මහතා විසින් පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට උපදෙස් ලබා දීමක් සිදුකර තිබේ.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා විසින් එම කාර්යාංශයට උපදෙස් ලබා දී ඇත.

ඊයේ දිනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පොලීසිය සම්බන්ධව රජයට මෙන්ම පොලිස්පතිවරයාට දැඩි චෝදනාවක් එල්ල කළේය.

එහිදී ඔහු චෝදනා කළේ වර්තමාන රජය විසින් පොලීසිය ඉතාම අවාසනාවන්ත තැනකට පත් කර ඇති බවය.

මින් පෙර හිටපු පොලිස්පතිවරුන් තුන් දෙනෙකුටම වර්ථමාන රජය යටතේ ඉතාම ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවත් වත්මන් පොලිස්පතිවරයාට රජයට සේවය කිරීම නවත්වා ජනතාවට සේවය කිරීමට පටන් ගන්නා ලෙස සාගර කාරියවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

එහිදී ඔහු බරපතළ චෝදනාවක් කරමින් සඳහන් කළේ එලෙස නොවන්නේ නම් මහා මාර්ගයේ මහජනතාවගෙන් පහර කා මිය යන 37 වැනි පොලිස්පතිවරයා ලෙස වර්තමාන පොලිස්පතිවරයා ඉතිහාස ගත විය හැකි බවය.

සාගර කාරියවසම් මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඉදිරි දිනකදී නීතිඥ සාගර කාරියවසම් මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ඊයේ දිනයේදී ඔහු විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කිරීමට ද නියමිතව ඇතැයිද මේ වන විට වාර්තා වේ.