ඉන්දියාවෙන් මෙරට ඩෙංගු මර්දනයට මැලතියන් තොගයක පරිත්‍යාගයක්

ඉන්දියාවෙන් මෙරට ඩෙංගු මර්දනයට මැලතියන් තොගයක පරිත්‍යාගයක්

August 4, 2026   05:02 pm

මේ වන විට ක්‍රියාත්මකව පවතින ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය රජය විසින් තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් කෘමිනාශක ලීටර් 500ක තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

එම පරිත්‍යාගය අද (04) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් පරිත්‍යාග කළේය.

මෙම පරිත්‍යාගය මෙරට ඩෙංගු පාලන වැඩසටහන් සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණීක සහායක් සැපයීම මෙන්ම මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙරට සහ ඉන්දියාව අතර දශක ගණනාවක් පුරා පවතින සමීප සහ විශ්වාසනීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මැලතියන් තොගය අවදානම් ප්‍රදේශ ඉලක්ක කර භාවිත කිරීමට පියවර 

මෙරට ඇතැම් ප්‍රදේශවල ඩෙංගු වාහක මදුරුවන්, දැනට භාවිත කරන ඇතැම් කෘමිනාශක වර්ගවලට ප්‍රතිරෝධීතාව වර්ධනය කරගෙන ඇති බව විද්‍යාත්මක අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් කෘමිනාශක කළමනාකරණය සහ විකල්ප කෘමිනාශක භාවිතය ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

ඒ අනුව, ඉන්දීය රජයෙන් පරිත්‍යාග කරන ලද තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් තොගය, අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ධූමායන වැඩසටහන් සඳහා භාවිත කිරීමට නියමිත අතර, එය විශේෂයෙන්ම වැඩිහිටි ඩෙංගු වාහක මදුරුවන්ගේ ඝනත්වය කඩිනමින් අඩු කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය.

තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් යනු 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූලව රෝග වාහක මදුරු මර්දන වැඩසටහන්වල දශක ගණනාවක් පුරා භාවිත කරනු ලබන ඔර්ගැනොෆොස්ෆේට් කාණ්ඩයේ කෘමිනාශකයකි. 

සෞඛ්‍ය අංශ විසින් එය නිර්දේශිත සාන්ද්‍රණයට අනුව ද්‍රාවක සමඟ මිශ්‍ර කර විශේෂ ධූමායන යන්ත්‍ර මගින් ඉතා සියුම් අංශු ලෙස මදුරුවන් බෝවෙතැයි අපේක්ෂිත පරිසරයට මුදා හරින අතර  එමගින් පියාසර කරන මදුරුවන් කෙටි කාලයක් තුළ විනාශ කරනු ලැබේ.

සෞඛ්‍ය ඇමතිගේ ඉල්ලීමට ඉන්දීය රජයේ ප්‍රතිචාරය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අවදානම් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ධූමායන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීමට ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ වැදගත් පියවරක් බවය.

එම කටයුතු සිදු කරගෙන යමින් සිටියද පසුගිය කාලය පුරා මෙරට තුළ මැලතියන් හිඟයක් පැවති බැවින් ඩෙංගු මර්දන ධූමායන වැඩසටහන් සඳහා අවශ්‍ය මැලතියන් ලබා දෙන ලෙස ඉන්දීය රජයෙන් හදිසි ඉල්ලීමක් සිදුකළ බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඉතා කඩිනම් හා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ ඉන්දීය රජය මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා දින කිහිපයක් ඇතුළත මැලතියන් ලීටර් 500ක තොගයක් පරිත්‍යාග කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සාරාංශය

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අද නිකුත් කළ නවතම වාර්තාවක දැක්වූයේ මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 86,947ක් වාර්තා වී ඇති බවය.

මින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර එම රෝගීන් සංඛ්‍යාව 29,975ක් ලෙසද සටහන් වී තිබේ.

ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි වශයෙන් දක්නට ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම අගය 45,976ක් ලෙසද සටහන් වී ඇත.

එමෙන්ම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 62ක් ද වාර්තා වී ඇති අතර අධි අවධානම් කලාප 137ක් තවදුරටත් පවතින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.