කැනඩාවට යවන බව පවසා ඉතියෝපියාවේ පාතාල කල්ලිවලට ලාංකිකයන් 03 දෙනෙකු විකුණලා
August 4, 2026 04:33 pm
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඩුබායි හරහා ඉතියෝපියාවට යවා, එහිදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය මඟින් පොලිස්පතිවරයා වෙත2026.05.27 දින යොමු කරනු ලද තොරතුරකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.
විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් ඉතියෝපියානු තානාපති කාර්යාලයේ සහා ඉතියෝපියානු පොලිස් අංශයේ අවශ්‍ය සහයෝගය මේ සඳහා ලබා ගෙන තිබේ.
විමර්ශනයේදී, අනාවරණය වී ඇත්තේ කිළිනොච්චිය ප්‍රදේශයේ පුද්ගලයෙකු මාර්ගයෙන් යාපනය, වව්නියාව හා කිළිනොච්චිය ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25,26 හා 27 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු මෙම ජාවාරමට හසුව ඇති බවයි.
සැකකරු විසින් ගුවන් ටිකට්පත් හා වීසා ලබා ගැනීම සඳහා ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 64ක මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
එමෙන්ම මොවුන් කැනඩාවට යැවීමෙන් පසු එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 100 බැගින් ලබා ගැනීමේ පදනම මත ඩුබායි හරහා ඉතියෝපියාවට යැවීමට කටයුතු කර ඇත.
ජාවාරමට හසු වූ පුද්ගලයින් තිදෙනා ඩුබායි හරහා ඉතියෝපියාවට විදේශ ගතවීමෙන් අනතුරුව එරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ක්‍රියාකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්කර ඇත.
පසුව ඔවුන් නිදහස් කිරීමට නම් එක් අයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 30,000 බැගින් කප්පම් මුදල් ඉල්ලා ඇත.
ඒ අනුව, වින්දිතයින්ගේ ඥාතීන් විසින් රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් අදාළ ජාවාරම්කරුවන් වෙත ලබා දීමටද කටයුතු කර ඇති බවට ද අනාවරණය වී තිබේ.
වැඩිදුර විමර්ශනයේදී, අනාවරණය කරගත් තොරතුරු මත කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි ඉහත විදේශ ගත කිරීමට සම්බන්ධ පුද්ගලයා තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ ඉතියෝපියානු බලධාරීන් විසින් පැහැර ගැනීමට ලක්වූ ලාංකිකයින් තිදෙනා මුදා ගැනීමට කටයුතු කර ඇත.
මුදාගත් ලාංකිකයින් තිදෙනා ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ නැවත ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන ඇත.
මේ අතර, මෙම ජාවාරමට සම්බන්ධ පකිස්තානු ජාතිකයින් සිව්දෙනෙකු සහ ඉතියෝපියානු ජාතිකයෙකු එරටදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරු හා ඉතියෝපියාවේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සමාජිකයින් අතර ඇති සම්බන්ධතාවය අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන අංශය මගින් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
