නඩු ප්‍රමාදයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලයි

නඩු ප්‍රමාදයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලයි

August 4, 2026   09:56 am

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශයේ දත්ත අනුව මේ වන විට අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව මිලියන 1.1 ඉක්මවා ඇති බව සඳහන් වේ.

නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතු ලෙස විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ නොවීම, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ හිඟය, රජයේ රස පරීක්ෂක හා රජයේ තක්සේරු වාර්තා ප්‍රමාද වීම ඇතුළු කරුණු පෙන්වා දී ඇත.

එමෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින අධික රාජකාරි බර සහ ඒ හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් ද අධිකරණ කටයුතු ප්‍රමාද වීමට බලපාන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පිළිගෙන ඇති බව ද සඳහන් වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, රට පුරා බන්ධනාගාරවල රඳවා තැබිය හැක්කේ රැඳවියන් 10,000කට පමණ වුවද, මේ වන විට 40,000කට අධික පිරිසක් රඳවා සිටින අතර, ඉන් සියයට 75ක් පමණ නඩු කටයුතු අවසන් නොවූ සැකකරුවන් බව ද පෙන්වා දී තිබේ.

ඒ අනුව, නඩු ගොඩගැසීමට හේතු වූ කරුණු හඳුනාගෙන කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් යෝජනා කිරීම සඳහාත්, බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහාත් ස්ථාවර නියෝග 100 සිට 110 දක්වා විධිවිධාන යටතේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිට ඇත.