අයහපත් කාලගුණයෙන් ගම්පොළ 500ක් අවතැන්
August 4, 2026 09:17 am
පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළයාමෙන් ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටව පවුල් 500ක් පමණ අවතැන්ව තිබේ.
අවතැන් වූ ජනතාව මේ වනවිට ආරක්ෂිත ස්ථානවලට යොමුකළ බව ගම්පොළ උඩපළාත හා දොළුව ප්‍රාදේශීය ලේකම්වරු සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පස්මිං සරීෆ්, මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හදිසි ආපදා කමිටුව ඊයේ (03) රැස්වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරුණි.
ගම්පොළ ප්‍රදේශයේ බැබිල, බෝතලාපිටිය, ගඟවට පාර, පල්ලේවෙල, නාවලපිටිය පාර, ලියෝනිස්, කුඩමාකේ, නාරන්විට, ඉඟුරුවත්ත, ඇතුළු ප්‍රදේශ කිහිපයක් මෙලෙස ජලයෙන් යටව තිබේ.
ඉන් අවතැන්ව සිටින පවුල් 500ක් පමණ ගම්පොළ ගේට් පල්ලිය, කහටපිටිය පල්ලිය හා බෝතලාපිටිය ගංගාතිලක විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති තාවකාලික නවාතැන්පොළ වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
ගම්පොළ ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ගන්නා ඉදිරි තීන්දු තීරණ පිළිබඳව ද ආපදා කමිටුවේදී සාකච්ඡා කෙරුණු අතර ආපදා තත්ත්වයන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා බෝට්ටු හයක් ද රැගෙනවිත් ඇති බව එහිදී සඳහන් කෙරුණි.
