ගංවතුර තත්ත්වයේ වර්ධනයක් නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ගංවතුර තත්ත්වයේ වර්ධනයක් නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

August 4, 2026   07:22 am

අද දිනයේ තද වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බැවින් දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (04) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා ඒ බව සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ පසුගිය පැය 24 තුළ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව ලැබුණද, බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය අඩුවී ඇති බවයි. ඒ අනුව මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පවතින බව ද ඔහු පැවසීය.

එමෙන්ම කැලණි ගඟේ ඉහළ ප්‍රදේශ වන කිතුල්ගල සහ නොර්වුඩ්හි ජල මට්ටම් ද පහළ යමින් පවතින අතර, කිතුල්ගල ප්‍රදේශයේ සුළු වැඩිවීමක් වාර්තා වුවද එය අවදානම් තත්ත්වයක් නොවන බව සඳහන් කළේය. 

අවිස්සාවේල්ල, ලෙන්කොස් සහ හංවැල්ල ඇතුළු පහළ ප්‍රදේශවල ජල මට්ටම් ද අඩුවෙමින් පවතින බැවින් කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් නොමැති බව ඔහු පැවසීය.

කළු ගඟ ආශ්‍රිත රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ජල මට්ටම් ද ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර, එම ගංගා ද්‍රෝණියේ ද ගංවතුර තත්ත්වය ඇතිවීමේ ලකුණු නොමැති බව සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

නිල්වලා ගඟ සහ ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති අතර, අද දිනයේ ද මිලිමීටර් 25ට අඩු වර්ෂාපතනයක් පමණක් අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය. ඒ හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම් සුළු වශයෙන් ඉහළ ගියද ගංවතුර අවදානමක් නොමැති බව ද ඔහු පැවසීය.

අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම් ද මේ වනවිට ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර, එම ජල මට්ටම් අවදානම් සීමාවේ නොමැති බව ඔහු සඳහන් කළේය.

අද දිනයේ සැලකිය යුතු වර්ෂාවක් නොලැබුණහොත් දැනට පවතින තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

කෙසේවෙතත් ඉදිරියේදී තෙත් කලාපයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වර්ෂාව ලැබුණහොත්, මේ වනවිටත් ඉහළ ජල මට්ටම් පවතින කැලණි ගඟ, කළු ගඟ සහ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල යළි ගංවතුර අවදානමක් මතුවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.