හරක් කටාට ලබා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්
August 3, 2026 01:47 pm
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (03) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම් දීම සිදු කළේය.
මෙම විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව ඔවුන්ට පවතින නඩු හා පෙර වැරදි සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලින් වාර්තා ලබාගෙන කරුණු දැක්වීමට කාලය අවශ්‍ය බවත් මෙම අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති නිසා ඇප ඉල්ලීම සලකා බැලීම සුදුසු නොවන බවත් මෙහිදී රජයේ නීතිඥවරයා සදහන් කළේය.
මෙම විත්තිකරුවන් ඇප මත මුදා හරිනු ලැබූවොත් නැවත අධිකරණයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ලිඛිතව විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් රජයේ නීතිඥවරයා මෙහිදී දන්වා සිටියේය.
කෙසේ වෙතත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජාලිය සමරසිංහ, හරිත් හෙට්ටිආරච්චි සහ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා යන යන නීතිවේදීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට එරෙහිව නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කළ පමණින් මෙම විත්තිකරුවන්ට අදාළ ඇප ඉල්ලීම සලකා බැලීම පසෙක දැමීමට හැකියාවක් නොමැති බව පැවසීය.
තම සේවා දායකයින් මේ වන විටත් වසර තුනකට වැඩි කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවන බවත් ඒ අනුව ඔවුන්ගේ ඇප ඉල්ලීම් සලකා බලා තීන්දුවක් ලබාදෙන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් මෙහිදී ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බවත් නියෝග කෙරිණි.
මෙම ඇප ඉල්ලීමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සතියක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් රජයේ නීතිඥවරයාට නියෝග කළේය.
මේ අතර මෙම සැකකරුවන්ට අදාළ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර තිබෙන බැවින් රැඳවුම් භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පසු වන හරක් කටා නමැති විත්තිකරු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට නියම කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.
