මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් සිදු වූ හානිය රුපියල් කෝටි 15ක්

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් සිදු වූ හානිය රුපියල් කෝටි 15ක්

August 2, 2026   08:24 pm

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 15කට අධික බව වාර්තා වේ.

නොසන්සුන්තාවට හේතුව සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර රැඳවියන් මහර බන්ධනාගාරයේ දේපොළ රැසක් විනාශ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 

බොහෝ ගොඩනැගිලිවල උළු බිඳී වහලට දැඩිලෙස හානි සිදුකර ඇති අතර බන්ධනාගාර පුනරුත්ථාපන වැඩසටහන්වලදී මැහීම් කටයුතු සඳහා භාවිත කරන උපකරණ රැසක්ද රැඳවියන් විනාශකර තිබුණි.

මධ්‍යම රාත්‍රීය වනතුරු රැඳවියන් බන්ධනාගාර පරිශ්‍රයේ සිට පිටතට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇත.

එහිදී එම ගල‍් ප්‍රහාර නිසා බන්ධනාගාරය අවට නිවාස කිිහිපයකටත් හානි වී තිබුණි.

පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය මෙහෙයවා ඇත්තේ සාතන්, අසාර්, පැට්ටා සහ තවත් රැඳවියෙක් එකතු වී බවය.

නොසන්සුන්තාවය අතරතුර කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් හඳුනාගෙන ඔවුන් අතරින් 104 දෙනෙක් බූස්ස ඇතුළු තවත් බන්ධනාගාර 7 ක් වෙත මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද දහවල් පියවර ගත්තේය.

රැඳවියන් 4,100 කට අධික පිරිසක් රඳවා සිටින මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරු 4 ට පමණ හටගත් නොසන්සුන්තාව පැය 13කට අධික කාලයකින් පසු අද (02) උදෑසන 6 පමණ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂක අංශවලට හැකිවිය.

නොසන්සුන් තත්ත්වයෙන් එක් රැඳවියෙක් මියගිය අතර තුවාල ලැබූ රැඳවියන් ගණන 9කි.

බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය හුවමාරු වීම පාලනයට දැඩි පියවර ගෙන තිබීමෙන් මේ දිනවල මත්ද්‍රව්‍ය හිඟවීම මත මෙම නොසන්සුන්කාරි තත්ත්වය ඇතිව ඇති බව වාර්තා වේ.

ඊයේ පෙරවරුවේ රැඳවියන් සිව්දෙනක් වහලයකට නැග, බන්ධනාගාර පාලනාධිකාරියට විරෝධය පළකර තිබුණි.

එම අවස්ථාවේදී බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැමිණ මේ සම්බන්ධයෙන් රැඳවියන්ගෙන් කරුණු විමසා තිබේ.

එහිදී එහි සිටි රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් දෙසට ගල් ප්‍රහාර එල්ල කර ඇත.

එම අවස්ථාවේදී නිලධාරීන් එම ස්ථානයෙන් බැහැරව ගොස් ඇත්තේ බන්ධනාගාර රෝහලේ ඇති ඖෂධ, මුළුතැන්ගෙයහි ඇති තියුණු ආයුධ සහ ගිනි අවි ගබඩාවේ ඇති ගිනි අවි ඇතුළු උපකරණ ආරක්ෂිත ඉවත් කිරමිනි.

මේ අතරවාරයේ තවත් රැඳවියන් 1,500ක පමණ පිරිසක් බන්ධනාගාරයේ එක් පසෙක ඉදිකෙරෙමින් පවතින තාප්පය බිඳ පලායාමට උත්සාහ දැරූ අතර එය ව්‍යර්ත කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා තිබුණි.

එම අවස්ථාවේ තවත් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනිතබා තිබේ.

පසුව ඉන් පිරිසක් බන්ධනාගාරයේ රැඳවියන් සතුව තිබී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ගබඩා කරන ගොඩනැගිල්ල කඩා එහි තිබූ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව වාර්තා විය.

මෙවැනි පසුබිමක තවත් රැඳවියන් පිරිසක්, සෙසු පිරිස් රඳවා ඇති වාට්ටු වෙත ගොස් එහි ඉබි යතුරු කඩා ඔවුන්ටත් එම සිර මැදිරිවලින් පිටතට ඒමට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අතරින් පිරිසක් සිර මැදිරිවලින් පිටතට පැමිණෙද්දී , තවත් රැඳවියන් පිරිසක් එය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් රැඳී සිටි සිර මැදිරිවල රැඳි සිට ඇත.

එම අවස්ථාවේදී ඔවුන්ට, නොසන්සුන්තාවය මෙහෙය වූ රැඳවියන් පැමිණ පහර දී ඇති බව වාර්තා විය.

පහර කෑමෙන් තුවාල ලැබූ රැඳවියන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේවෙතත් ඒ අතර සිටි එක් රැඳවියෙක් පසුව මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ජීවිතක්ෂයට පත්ව තිබුණේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකි.

ඔහු යතුරු පැදියක් සොරකම් කිරීම සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි.