බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සැකකරුවන්ට දින 90ක් DO 

බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සැකකරුවන්ට දින 90ක් DO 

July 30, 2026   04:52 pm

බෙල්ලන්විල ඇවිදින මන්තීරුව අසළ අවන්හල් හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 90 රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී තිබේ.

මෙසේ භාරදී ඇත්තේ බකමූණ කොට්ටපිටිය ගඟේයාය ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකු හා බකමූණ ඔරුබැඳි සියඹලාව හීරවිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව එම කොට්ඨාශය පවසයි.

බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල ඇවිදින මන්තීරුව අසල පිහිටි අවන්හලක් ඉදිරිපිටදී නිල් පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් දෙහිවල පාර, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි අවන්හල් හිමිකරුවෙකුට වෙඩි තබා පසුගිය (25) දා ඝාතනය කොට දෙහිවල දෙසට පලා ගොස් තිබුණි.

මේ සම්බන්ධයෙන් ක්ෂණික මාර්ග බාධක යොදා සිදුකළ සෝදිසි කිරීම්වලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙ‍ෙනකු යතුරු පැදියකින් පලායමින් සිටියදී නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කොට දින 90 රඳවා ගැනීමේ නියෝග ලබා වැඩිදුර විමර්ශන සිදුකිරීමට පොලීසියට අවසර දී තිබු අතර එම ප්‍රශ්න කිරීම් සඳහා සැකකරුවන් ඊයේ (29) බස්නාහිර පළාත දකුණ දිසාව භාර අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරදී තිබේ.