එල් නීනෝ නිසා දැඩි අවදානම් ප්‍රතිවිපාක ගෙනදිය හැකි බවට පුරෝකථන
July 30, 2026 01:29 pm
ලොව පුරා විපරීත කාලගුණ තත්ත්වයන් නිර්මාණය කරන එල් නීනෝ සංසිද්ධිය මෙවර දැඩි අවදානම් ප්‍රතිවිපාක ගෙනදිය හැකි බැවින් ඊට මුහුණදීමට සියලු දෙනා සූදානම් විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පෙන්වා දෙයි.
මෙම එල් නීනෝ සංසිද්ධිය පැසිෆික් සාගර කලාපයේ ආරම්භ වී ඇති අතර එය මේ වනවිට දුර්වල මට්ටමක පැවතියත් ඉදිරියේදී ප්‍රබල ලෙස වර්ධනය වීමේ හැකියාවක් ඇති බවට පුරෝකථනය කර තිබේ.
ඒ අනුව මේ වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසක දැඩි වියළි කාලගුණික තත්ත්වයක් නිර්මාණය වී ඇත.
එමෙන්ම ඇතැම් ප්‍රදේශයේ ජල මුලාශ්‍ර රැසක් සිදීගොස් ඇති බැවින් වගාබිම් විනාශ වෙමින් පවතින බවට ගොවීන් මැසිවිලි නඟයි.
පවතින තත්ත්වය යටතේ මෙවර මහ කන්නයේ වී වගාව ඔක්තෝම්බර් මුල් සතියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේය.
මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය පහවයන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා , ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එල්-නීනෝ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් උද්ගත වියහැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වනවිටත් සැලසුම් සකස් කරමින් සිටින බව එහි අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ උද්ගත වියහැකි ආපදා තත්ත්වයකට ඇති සූදානම පිළිබඳ රජයේ මුදල් කාරක සභාව හමුවේ පසුගියදා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති ආපදා කළමනාකරණ අරමුදල තවමත් විධිමත්ව ක්‍රියාත්මක නොවන බව රජයේ මුදල් කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණය විය.
