විදේශීය දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු ගුවන්තොටේදී මාට්ටු
July 30, 2026 01:03 pm
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 4,650,000ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දුම්වැටි තොගය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති 'හරිත මාවත' ඔස්සේ පිටකර ගෙනයාමට තැත්කිරීමේදී අද (30) ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද උදෑසන 10ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ, විදේශීය නිෂ්පාදිත දුම්වැටි 31,000ක් අඩංගු දුම්වැටි කාටූන් 155ක් සගවා ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටියි.
