කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

July 30, 2026   10:52 am

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අදාළ වේ.

මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබේ.

මේ අතර ත්‍රීකුණාමලය සිට මුලතිවු හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50–60දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
 
තවද මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 -2.5ක් දක්වා පමණ ඉහළයාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.