ලෝක තැනැත්තන් වෙ‍‌ළෙඳාමට එරෙහි දිනය අදයි

ලෝක තැනැත්තන් වෙ‍‌ළෙඳාමට එරෙහි දිනය අදයි

July 30, 2026   10:20 am

 

අද(30) දිනට යෙදෙන ලෝක තැනැත්තන් වෙ‌ළෙඳාමට එරෙහි දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකා තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාය සාධක බලකායේ සභාපති සහ විශ්‍රාමික ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ.

තැනැත්තන් වෙ‌ළෙඳාමට එරෙහි ලෝක දිනය සෑම වසරකම ජුලි මස 30 වන දිනට, යෙදී ඇති බැවින්, ශ්‍රී ලංකාව ද ලෝක ප්‍රජාව සමඟ එක්ව සිටින අතර, මෙම දිනය සිහිපත් කර දෙන්නේ තැනැත්තන් වෙළඳාම යනු තවදුරටත් දුරස්ථව පමණක් සිදුවන අපරාධයක් නොවන බවත් එය දේශසීමා හරහා මෙන්ම අපගේම සමාජය තුළ, රැකියා ස්ථානයන් තුළ, අන්තර්ජාලය සහ නීත්‍යානුකූල බවට පෙනෙන අවස්ථා පවා අවභාවිත කරමින් සිදුවිය හැකි අපරාධයක් බවත් එම පණිවුඩයේ සඳහන් වෙයි.

මෙවර ලෝක දිනයේ තේමාව වන “Trapped Behind the Scam" වර්තමානයේ ලෝකය මුහුණ දී සිටින නව තර්ජනයක් පිළිබඳව අවධාරණය කරයි. 

තවද, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් පුද්ගලයන් රවටා, ඔවුන්ට තර්ජනය කරමින් හෝ බලහත්කාරයෙන් අන්තර්ජාල වංචා සහ මූල්‍ය වංචාවන් සඳහා යොදවා ගැනීමේ ප්‍රවණතාවයක් ඇත.

මෙවැනි වංචාවන් පිටුපස, තැනැත්තන් වෙළෙඳාමේ වින්දිතයින්ද සිටිය හැකිය.

අපරාධයක නිරත වන බව පෙනෙන තැනැත්තෙකු, තර්ජනය කිරීමෙන්, බලහත්කාරයෙන්, වංචාවෙන්, රැවටීමෙන් හෝ ඔහුගේ හෝ ඇයගේ පීඩාකාරී තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමෙන් තැනැත්තන් වෙළෙඳාමට ගොදුරු වූ වින්දිතයෙකු විය හැකි බව එහි සඳහන් වෙයි.

එබැවින්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සෑම අවස්ථාවකදීම වින්දිතයා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වේ.

මෙලෙස වෙනස් වන තැනැත්තන් වෙළඳාමේ නව ස්වරූපයන්ට ගැළපෙන ප්‍රතිචාරයක් සඳහා සියලු පාර්ශවයන්ගේ සමීප සම්බන්ධීකරණයෙන් යුතු ක්‍රියා පිළිවෙතක අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කරයි.

තැනැත්තන් වෙ‌ළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, තැනැත්තන් වෙ‌ළෙඳාම වැළැක්වීම, වින්දිතයින් හඳුනා ගැනීම, ඔවුන්ට ආරක්ෂාව සහ සහාය ලබා දීම, වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම සහ වින්දිතයින්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බවද එම පණිවුඩයේ සඳහන් වෙයි.

එහෙත්, මෙම ප්‍රයත්නය රජයේ වගකීමක් පමණක්ම නොව, සෑම පුරවැසියෙකුටම, සෑම ආයතනයකටම සහ සෑම ප්‍රජාවකම වගකීමක් බවත් මෙම ජාත්‍යන්තර දිනයේදී, සියළු දෙනාගේ මානව ගෞරවය ආරක්ෂා කිරීම, වින්දිතයින් හා සම්බන්ධව සහකම්පනයෙන් යුතුව කටයුතු කිරීම සහ මිනිසුන් සූරාකෑමට ලක්කරමින් ලාභ ලබන අපරාධ ජාල පරාජය කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ද ඒ මහතා සිය පණිවුඩයෙහි දක්වා තිබේ.