බ්‍රිතාන්‍යයේ ඇණවුම් මිනිත්තුවෙන් සකසන චීන රොබෝවරු
July 30, 2026 09:07 am
වර්තමානයේ බ්‍රිතාන්‍යයේ ප්රමුඛ පෙළේ භාණ්ඩ වෙළෙඳ සමාගම් රැසක් තම ගබඩා පද්ධති ස්වයංක්‍රීය කිරීම සඳහා චීනයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර වෙත යොමු වී තිබේ.
බ්‍රිතාන්‍යයේ දැවැන්ත භාණ්ඩ වෙළෙඳ සමාගම් වන Tesco, Asda සහ Next ඇතුළු ආයතන රැසක් දැන් චීන සමාගමක් වන 'Geek+' හි තාක්ෂණය භාවිත කරයි.
මෙම රොබෝවරු ගබඩා රාක්ක යටින් ලිස්සා යමින්, රාක්කය ඔසවාගෙන ගබඩාව හරහා සේවකයෙකු වෙත ගෙනයාම සිදු කරයි. මෙම නැවත නැවතත් සිදුවන ගමන් ස්වයංක්‍රීය කිරීම හරහා භණ්ඩ තෝරාගැනීමේ වේගය වැඩි කිරීමටත්, මිනිසුන්ට ළඟා වීමට අපහසු අවකාශයන්හි භණ්ඩ ගබඩා කිරීමටත්, දෝෂ අවම කර ගැනීමටත් හැකි වන බව Geek+ සමාගම පවසයි.
වසර 10 කට වැඩි කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යය දුර්වල නිෂ්පාදන ඵලදායිතා වර්ධනයකින් (Productivity growth) පෙළෙන අතර, ව්‍යාපාර වඩාත් කාර්යක්ෂම වීමට නම් රොබෝ තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
බ්‍රිතාන්‍යය සතුව විශාල ඊ-වාණිජ්‍ය (e-commerce) සහ සැපයුම් අංශයක් පැවතුනද, බොහෝ ගබඩා තවමත් ස්වයංක්‍රීයකරණයේ මුල් අදියරවල පවතී.
බ්‍රිතාන්‍යයේ විශාලතම යුරෝපීය වෙළඳපොළ බවට Geek+ පත්ව ඇති අතර, එරට හවුල්කාර සමාගමක් වන MotionTech හරහා ගබඩා අඩවි 10ක රොබෝවරුන් 2,000කට අධික ප්‍රමාණයක් යොදවා ඇත.
බ්‍රිතාන්‍යය තුළ පවතින දැඩි ශ්‍රම හිඟයට මුහුණ දීම සඳහා මෙම තාක්ෂණය අත්‍යවශ්‍ය වී ඇති බව MotionTech ආයතනය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, කම්කරු සංගම් (TUC) පවසන්නේ රැකියා කප්පාදු කිරීම සඳහා පමණක් රොබෝ තාක්ෂණය භාවිත නොකර, ඵලදායිතාව ඉහළ නැංවීමට සහ සේවකයන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට එය යොදාගත යුතු බවයි.
ජනාධිපති ෂී ජින්පින්ගේ නායකත්වය යටතේ රොබෝ තාක්ෂණය චීනය විසින් උපායමාර්ගික ප්‍රමුඛතාවක් බවට පත් කර ඇත. චීනයේ වැඩ කරන වයසේ ජනගහනය අඩුවෙමින් පවතින පසුබිමක, ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට ස්වයංක්‍රීයකරණය අත්‍යවශ්‍ය බව ප්‍රතිපත්ති සම්පාදකයෝ විශ්වාස කරති.
