පවුල් ආරවුලක් හේතුවෙන් විදුලි කණුවකට නැග්ග පුද්ගලයාට ලක්ෂ 02ක අලාභයක් ගෙවන්නැයි නියෝග
July 29, 2026 09:54 pm
පවුල් ආරවුලක් විසඳාගැනීමට අධි බලැති විදුලි රැහැන් සහිත කණුවක නැග විරෝධය පළ කිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය ගෙවන ලෙසට මාතර මහේස්ත්රාත් අධිකරණය අදාළ පුද්ගලයාට නියෝග කර තිබේ.
මෙම පුද්ගලයා පසුගිය 21 වෙනිදා පස්වරුවේ කඹුරුපිටිය ප්රදේශයේ පිහිටි අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට අයත් කණුවක් මතට නැග සිය විරෝධය පළ කළේය.
ඒ හේතුවෙන් තිහගොඩ, කඹුරුපිටිය, අකුරස්ස, මුලටියන, දෙයියන්දර, මාවරල, දෙනියාය ඇතුලු ප්රදේශ රැසක පැය දෙකකට අධික කාලයක් විදුලිය විසන්ධි කිරිමට සිදුවිය.
පොලිසිය විසින් විදුලි කණුව මත නැගි පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් එම ස්ථානයට රැගෙන එමෙන් අනතුරුව ඔහු ඉන් බිමට බැස්සේය.
එම අවස්ථාවේදී සැකකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
24 වෙනිදා යළිත් එම නඩුව කැඳවූ අතර එහිදී මෙම පුද්ගලයා කණුව මත නැගීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට සිදුවු අලාභය ගණනය කර කරුණු වාර්තා කරන ලෙසට මාතර ප්රධාන මහේස්ත්රාත්වරයා කඹුරුපිටිය පොලීසියට නියෝග කළේය.
තව ද මෙම සැකකාර පුද්ගලයා මේ මස 28 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පියවර ගන්නා ලදී.
ඒ අනුව ඊයේ (28) යළි මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පැය දෙකකට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීමෙන් සිදු වූ පාඩු රුපියල් 201,059.90ක් ලෙසට අධිකරණයට පොලීසිය විසින් දැනුම්දී ඇත.
එහිදී සැකකරු විසින් වරද පිළිගෙන ඇති අතර විදුලි බල මණ්ඩලයට සිදුවු අලාභය ගෙවන ලෙසටත් යළි නඩුව නොවැම්බර් මස 03වන දින කැඳවීමටත් මාතර මහේස්ත්රාත් අධිකරණය නියෝග කොට තිබේ.
