නවතම කැබිනට් පත්‍රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක් - දිනන දකුණ

නවතම කැබිනට් පත්‍රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක් - දිනන දකුණ

July 29, 2026   12:32 pm

“අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ" මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා ලැබුණු කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් 'දිනන දකුණ' සාමූහිකය සිය දැඩි විරෝධය සහ සැකය පළ කර සිටී.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, එම සාමුහිකය සඳහන් කර ඇත්තේ, මෙය අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක් වන බවය.

-  උපුටාගැනීම - 

මෙම තීරණය අධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ පළාත් මට්ටමින් අභියාචනාධිකරණයේ නඩු ඇසීම ව්‍යාප්ත කිරීම සඳහා වන සාමාන්‍ය පරිපාලනමය ක්‍රියාවලියක් ලෙස රජය විසින් නිරූපණය කළද, මෙය විධායකයේ අවශ්‍යතාවලට යටත්ව ඉහළ අධිකරණ වල කටයුතු කරවා ගැනීම පිණිස සහ වත්මන් අග්‍ර විනිශ්චයකාරවරයා එම ධුරයේම තබා ගැනීමේ අරමුණින් ව්‍යවස්ථාපිත විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට පාර කැපීම සඳහා ගන්නා ලද තවත් එක් උපක්‍රමශීලී පියවරක් බවට 'දිනන දකුණ' සාමූහිකය මහජනතාවට සහ නීතිඥ ප්‍රජාවට අනතුරු අඟවා සිටියි.

මෙය සැබවින්ම ගත් කළ අධිකරණ ප්‍රතිසංස්කරණ ලෙස වෙස්ගන්වන ලද දේශපාලනික උපායමාර්ගයක් බව අප සාමුහිකයේ මතය වන්නේය.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ කාලසටහන සහ එහි අඩංගු යාන්ත්‍රණය දෙස දැඩි අවධානය යොමු කරන කල්හි පෙනෙන්නට තිබෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය මීට පෙර දැරූ උත්සාහයට නීතිඥ ප්‍රජාවගෙන් සහ සිවිල් සමාජයෙන් එල්ලවු දැඩි විරෝධය මඟහැරීම සඳහා මෙම කැබිනට් තීරණය විධායකය විසින් සම්ප්‍රදායික දේශපාලන උපක්‍රමයක් ලෙස ඉදිරිපත් කොට ඇති බවයි. 

එනම්, එමඟින් පෙර තමන් සතුවු අභිප්‍රාය ඒ තුළ වු ආන්දෝලනාත්මකභාවය ඉවත් කොට වඩාත් යහපත් යැයි පෙනී යන පොදු අධිකරණ ප්‍රතිසංස්කරණ පැකේජයක් තුළ බහා ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබේ.

ඒ සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සහ අභියාචනාධිකරණ  පළාත් මට්ටමින් පවත්වාගෙන යාම වැනි ජනප්‍රිය යෝජනාවකි. ඒ සමඟම විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවද එකට අමුණා ඉදිරිපත් කිරීම මගින්, පාර්ලිමේන්තුව සහ මහජනතාව රවටා, ජනතා විරෝධතා අක්‍රීය කිරීමට රජය උත්සාහ කොට තිබේ.

විනිසුරු මඬුල්ල පුළුල් කිරීම සහ නඩු ප්‍රමාදය අවම කිරීම සම්පූර්ණයෙන්ම පරිපාලනමය කරුණු වන අතර, ඒ සඳහා අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිල කාලය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අනුභූතික යථාර්තයක් වන්නේය.
 
මෙම එකිනෙකට පටහැනි අවශ්‍යතා දෙක එකට සම්බන්ධ කිරීමෙන්ම පැහැදිලි වන්නේ විධායකයේ දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට පූර්වාදර්ශ සැපයීම මෙහි යටි අරමුණ වී ඇති බවයි.

අප සාමුහිකයට අනුව මෙම උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදී ජනවරමට සහ බල බෙදීමේ න්‍යායට එල්ල වන තර්ජනයකි.

ධුරයේ සිටින නිලධාරීන්ගේ වාසිය උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත කොන්දේසි වෙනස් කිරීම මඟින් රාජ්‍ය බලතල බෙදීමට හා සංවරණය පදනම් කරගත් මූලධර්මයන්ට දැඩි හානියක් සිදුවන බව 'දිනන දකුණ' සාමූහිකය අවධාරණය කරනු ලබයි.

වත්මන් නිලධාරියෙකුගේ ධුර කාලය තුළදී විධායකය විසින් ව්‍යවස්ථාපිත ධුර කාලයන් වෙනස් කිරීමට පෙළඹෙන විට, එය ආයතනික පරාධීනත්වයක් බවට පත්වීමේ ඉඩ කඩ ඉහළ යන්නේය.

නොඑසේනම් අධිකරණය, විධායකය මත යැපෙන තත්ත්වයක් එමඟින් නිර්මාණය කරන බව කිව යුතුව තිබේ.

යම් අග්‍රවිනිශ්චයකාරවරයකුගේ ධුර කාලය පැවතීම හෝ දීර්ඝ වීම පවතින රජයේ දේශපාලන අභිමතය මත රඳා පැවතීම ප්‍රජාතන්ත්‍රයට මෙන්ම නීතියේ බලය පවත්වාගෙන යාමට අහිතකර වන්නේය.

එවැනි තත්වයක් තුළ යම් අග්‍විනිශ්චයකාරවරයකුට හෝ අධිකරණයට සම්පූර්ණයෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට හැකි වෙතැයි විශ්වාස කළ නොහැකි වන්නේය.

ජනතාව ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී ජනවරම ඉක්මවා යමින් සහ ව්‍යවස්ථාපිත සීමාවන් මායිම් නොකරමින් වත්මන් අග්‍ර විනිශ්චයකාරවරයා එම ධුරයේ තබා ගැනීමට දරණ මෙම උත්සාහය මගින්, විධායකය විසින් අධිකරණ බලයට අතපෙවීම සහ බලය ඒකාධිකාරී කරගැනීමේ අවදානම මනාව පැහැදිලි වන බව අප අවධාරණය කරයි.

ඒ අනුව ගත් කළ රජයේ චේතනාවේ සද්භාවය වැදගත් වන්නේය.

එවැනි සද්භාවයක් හඳුනාගැනීමේ පරීක්ෂණය වන්නේ එවැනි සංශෝධනයක් අනාගතයට පමණක් බලපැවැත්වීමටත් අතීතයටත් බලපැවැත්වීම අදාළ යෝජනාවේ පදනම් සාර්ථකවීමට හේතුවන්නේය.

මෙම කැබිනට් පත්‍රිකාව සැබෑ පරිපාලනමය අවශ්‍යතාවයක් මත ගෙන ආ එකක්ද, නැතහොත් දේශපාලනික වුවමනාවක් මත ගෙන ආ එකක්ද යන්න තක්සේරු කිරීම සඳහා 'දිනන දකුණ' එකමුතුව මූලික නීතිමය මූලධර්මයක් පදනම් කරගනිමින් රජයට අභියෝග කරයි.

රජයේ එකම අරමුණ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ අත්දැකීම් පද්ධතිය තුළ රඳවා ගැනීම පමණක් නම්, විශ්‍රාම යන වයස ඉහළ නංවන යෝජිත පනත් සංශෝධන බලපැවැත්විය යුත්තේ අනාගතයේ පත්වන විනිසුරුවරුන්ට පමණකි.

දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ට, විශේෂයෙන්ම වත්මන් අග්‍ර විනිශ්චයකාරවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි කාලදීර්ඝයන් ලබා දෙන්නේ නම්, එයින් තහවුරු වන්නේ මෙහි මූලික අරමුණ පද්ධතිමය ප්‍රතිසංස්කරණයක් නොව, දේශපාලන අභිමතයන් ඉටුකර ගැනීම බවයි.

එම නිසා ජනතාවගෙන් සහ සංවිධානවලින් දිනන සාමුහිකය ලෙස කෙරෙන ඉල්ලීම වන්නේ නීති කෙටුම්පත්  සම්පාදකවරයා (Legal Draftsman) විසින් සකස් කිරීමට නියමිත කෙටුම්පත් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසටය.

මෙම අනතුරු ඇඟවීම අප සාමුහිකය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්  මෙහිලා සිදු කරනු ලබයි.

අධිකරණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ආරක්ෂණයන් දියකර හැරීමට විධායකය ගන්නා මෙවැනි උත්සාහයන්ට එරෙහිව විපරමින් සිටින ලෙස අපි සමස්ත මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

අධිකරණයේ ස්වාධීනත්වය යනු විධායකයේ හිතුමනාපයට වෙනස් කළ හැක්කක් නොව, එය රාජ්‍ය බලයට එරෙහිව සියලු  පුරවැසියන් සුරකින අවසාන පලිහ බව අප සමාජයට නිහතමානීව සිහිපත් කොට සිටියි.

- උපුටාගැනීම අවසන් -