නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් අද කොළඹදී

නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් අද කොළඹදී

July 29, 2026   07:38 am

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගතයුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමුකරන බවය.

ඒ අනුව අද උදෑසන 11ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේදී මෙම රැස්වීමට පැවැත්වීමට නියමිතය.

"මෙය කිසිදු පුද්ගලයෙකු හෝ විනිසුරුවරයෙකු සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලධර්ම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ ඉතා වැදගත් ජාතික කාරණයක්. එවැනි මුලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකළ යුත්තේ, පුළුල් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සංවාදයකින්, විනිවිඳභාවයකින් සහ නිසි ක්‍රියාපටිපාටියට අනුකූලවයි. ඒ අනුව මේ වැදගත් ජාතික කාරණාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් අද පෙරවරු 11 මෙම මහ සභා රැස්වීමට සහභාගී වෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා."