රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම හා ආධ්‍යාත්මික වර්ධනය මතයි - අගමැතිනිය

රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම හා ආධ්‍යාත්මික වර්ධනය මතයි - අගමැතිනිය

July 28, 2026   09:55 pm

භෞතික සංවර්ධනය කොතරම් සිදු වුවද, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

කළුතර දකුණ, රෙමුණගොඩ, කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයට අද (28) සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

වර්තමාන වේගවත් හා සංකීර්ණ සමාජ වටපිටාව තුළ ජනතාවගේ සිත්වලට සංයමය සහ ආධ්‍යාත්මික සැනසීම වඩාත් අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාර භූමියේ මෙවැනි කලාත්මක සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සමස්ත ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සුවය උදෙසා සිදුකරන අතිමහත් මෙහෙවරක් බව සඳහන් කළාය.

ප්‍රදේශයේ ජනතාව සතුව පැවති ලෝහ භාවිත කරමින් මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමද අගය කළ යුතු කරුණක් බව ඇය පැවසුවාය.

රටේ ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයට විශාල වගකීමක් පැවරී ඇති බවත්, එම වගකීම ඉටු කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

දිවයින පුරා පිහිටි පෞරාණික විහාරස්ථානවල පැරණි බිතුසිතුවම්, ශිලා ලේඛන සහ චෛත්‍ය සංරක්ෂණය කිරීමේ පියවර රැසක් ආරම්භ කර ඇති බවත්, දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීම වේගවත් කර ඇති බවත් ඇය පැවසුවාය.

තරුණ පරපුරට ඓතිහාසික උරුමයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කර ඒවා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා ස්ථාන බවට පත් කිරීමද වැදගත් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

ඓතිහාසික විහාරස්ථාන ආරක්ෂා කිරීම යනු හුදෙක් ගොඩනැගිලි නඩත්තු කිරීමක් නොව, ජාතික අනන්‍යතාව, සදාචාරාත්මක පදනම සහ සංස්කෘතික උරුමය අනාගත පරපුරට සුරක්ෂිතව දායාද කිරීමක් බවද ඇය සඳහන් කළාය.

භෞතික සම්පත්වලින් මෙන්ම ආධ්‍යාත්මික ගුණධර්මවලින් පෝෂණය වූ නිදහස්, සාධාරණ සහ සහජීවනයෙන් පිරි ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන අරමුණක් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවාය.