ජපානයේ භූ කම්පනයෙන් 50ට ආසන්න පිරිසකට තුවාල

ජපානයේ භූ කම්පනයෙන් 50ට ආසන්න පිරිසකට තුවාල

July 28, 2026   05:50 pm

ජපානයේ දකුණු දිග කුමමොතෝ (Kumamoto) ප්‍රදේශයේ අද (28) සිදුවූ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් විශාල හානියක් සිදුවී තිබේ.

ඉන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

සාප්පු සංකීර්ණයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී හෝ ගිනිගෙන ඇති අතර ඓතිහාසික කුමමොතෝ බලකොටුවේ තාප්පවලටද හානි සිදුවී ඇති බව සඳහන් වෙයි.

මේ අතර, නිවාස 40,000කට පමණ විදුලිය විසන්ධි වී ඇති අතර ජංගම දුරකථන සේවාවලටද බාධා එල්ල වී ඇත.

අධිවේගී දුම්රිය ඇතුළු සියලුම දුම්රිය සේවා නතර කර ඇති අතර කුමමොතෝ ගුවන්තොටුපළේ ධාවනපථ වසා දමා ඇත.

ආරක්ෂිත පියවරක් ලෙස TSMC (චිප් නිෂ්පාදන සමාගම), Sony සහ Fujifilm වැනි ප්‍රමුඛ සමාගම්වල සේවකයින් කර්මාන්තශාලාවලින් ඉවත් කර තිබේ.

මුලින් මීටරයක පමණ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද, පසුව එය ඉවත් කරගන්නා ලදී.

භූ කම්පනයෙන් ප්‍රදේශයේ ඇති න්‍යෂ්ටික බලාගාරවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව එරට රජය පවසයි.

මේ අතර ඉදිරි සතිය තුළ තවත් පසු කම්පන සහ නායයෑම් ඇතිවිය හැකි බැවින් අවදානමෙන් පසුවන ලෙස ජනතාවට දන්වා ඇත.