මාරක අනතුරු කිහිපයක් - ජීවිත 6ක් අහිමි වෙයි

මාරක අනතුරු කිහිපයක් - ජීවිත 6ක් අහිමි වෙයි

July 28, 2026   05:28 am

ඊයේ (27) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු සහ සෙසු අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකුට දිවි අහිමි වී ඇතැයි පොලීසිය පැවසීය.

මියගිය අය අතර 21 හැවිරිදි සහ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු ද අයත් වේ. 

ඊයේ (27) උදෑසන තිරුක්කෝවිල් පොතුවිල් මාර්ගයේ විනයාගපුරම් 01 ප්‍රදේශයේදී පොතුවිල් දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී සිදුවු අනතුරකින් 49 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියැදුරු, පසුපස අසුනේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු, ගැහැණු දරුවෙකු හා පිරිමි දරුවෙකු තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම කාන්තාවක් මියගොස් ඇත. 

අනෙක් කාන්තාව හා දරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට මාරු කර යවා තිබේ.

මේ අතර, ඊයේ උදෑසන පිටකොටුව ගොතටුව මාර්ගයේ ගොතටුව නගරය ආසන්නයේදී පිටකොටුව දෙසට ධාවනය වූ බස් රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී 37 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියැදුරු හා පසුපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙකු හා කාන්තාවක් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරන විටත් රියැදුරු මියගොස් සිට තිබේ. 

ඊයේ අලුයම කුරුණෑගල පුත්තලම මාර්ගයේ වේරපොල ප්‍රදේශයේදී පුත්තලම දෙසට ධාවනය වූ කාර් රථයක් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ 67 හැවිරිදි යතුරුපැදිකරු වාරියපොල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර, කාර් රථයේ රියදුරු රෝගී තත්ත්වයක් හේතුවෙන් වාරියපොල රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ අලුයම අතුරුගිරිය පොලිස් වසමේ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 06 කණුව ආසන්නයේදී කෙරවලපිටිය දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නවතා තිබූ ටේලරය සහිත ප්‍රයිමූවර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු හා වම්පස අසුනේ ගමන්ගත් පුද්ගලයෙකු හෝමාගම රෝහලට ඇතුළත් කරන විටත් වම්පස අසුනේ ගමන්ගත් 21 හැවිරිදි තරුණයා මියගොස් සිට ඇත.

මේ අතර, ඊයේ රාත්‍රීයේ තිස්සමහාරාම වැව් බැම්ම මාර්ගයේ කිලෝමීටර් 06 කණුව අසලදී දෙබරවැව දෙස සිට කතරගම දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ 38 හැවිරිදි පදික පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මේ අතර, ඊයේ රාත්‍රියේ හලාවත පොලිස් වසමේ බංගදෙනිය පල්ලම මාර්ගයේ 05 කණුව ආසන්නයේදී පල්ලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ 24 හැවිරිදි යතුරුපැදිකරු හලාවත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.