රුසියාවේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

රුසියාවේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

July 27, 2026   02:25 pm

රුසියානු සමූහාණ්ඩුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමේ හැකියාව පුළුල් කරමින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රුසියාවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (NOSTROY) අතර විශේෂ සාකච්ඡාවක් සාර්ථකව පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා රුසියාවේ විශේෂ දූත පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණි අතර, එහිදී රුසියාවේ ඉදිකිරීම් කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාව ශ්‍රමිකයන් බඳවා ගැනීමේ මූලාශ්‍ර රටක් ලෙස නම් කිරීම පිළිබඳව කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකාවේ පවතින නිපුණ හා අර්ධ නිපුණ ශ්‍රම බලකාය, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්‍රමවේද සහ ජාත්‍යන්තර මට්ටමේ කාර්යක්ෂම ශ්‍රමිකයන් බිහිකිරීම සඳහා තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ආයතන ඉටුකරන දායකත්වය සභාපතිවරයා විසින් මෙහිදී පැහැදිලි කරන ලදී.

NOSTROY සංවිධානයේ මැදිහත්වීම: රුසියානු සමූහාණ්ඩුවේ විශාලතම ඉදිකිරීම් සංගම් අතරින් එකක් වන NOSTROY සංවිධානය, නිවාස, සිවිල් සහ කාර්මික ඉදිකිරීම් ව්‍යාපෘතිවල නිරත සමාගම් 105කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරයි. 

මීට පෙර ඉන්දියාව සමඟද මෙවැනි අවබෝධතා ගිවිසුමකට එළඹී ඇති බව එම සංවිධානයේ සභාපති ඇන්ටන් ග්ලූෂ්කොව් (Anton Nikolaevich Glushkov) මහතා සඳහන් කළේය.

විවිධ විදේශ ශ්‍රම වෙළඳපොළවල් වෙත ශ්‍රී ලාංකික ඉදිකිරීම් ශ්‍රමිකයන් සාර්ථකව යොමු කර ඇති අත්දැකීම් සහ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුවිශේෂී හැකියාවන් මෙහිදී SLFEA සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

මෙම සාකච්ඡාවල සමාප්තිය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත සමාගම (පුද්.) වෙනුවෙන් එහි සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා සහ NOSTROY සංවිධානය වෙනුවෙන් එහි සභාපති ඇන්ටන් නිකොලයෙවිච් ග්ලූෂ්කොව් මහතා අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබිණි.

මෙම ගිවිසුම හරහා රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ශ්‍රම අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිසි පරිදි බඳවා ගැනීම සහ යොමු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ශක්තිමත් සහයෝගීතා රාමුවක් ස්ථාපිත කෙරේ.