ඇපල් සමාගමෙන් නව ස්මාර්ට් කණ්ණාඩියක්

ඇපල් සමාගමෙන් නව ස්මාර්ට් කණ්ණාඩියක්

July 27, 2026   02:09 pm

ඇපල් සමාගම විසින් 2027 වසරේදී නව ස්මාර්ට් කණ්ණාඩියක් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.

වර්තමානය වන විට වෙළඳපොළේ ඇති මෙවැනි උපාංග නිසා පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයට සිදුවන හානි පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බැවින්, ඇපල් සමාගම තම නිෂ්පාදනයේදී පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිම ප්‍රමුඛතාවයක් දීමට තීරණය කර ඇත.

දැනට පවතින මෙටා සමාගමේ ස්මාර්ට් කණ්ණාඩි භාවිත කරමින් අන් අයට නොදැනෙන සේ හොර රහසේ ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීමට හැකිවීම නිසා සමාජය තුළ විශාල බියක් සහ විරෝධයක් හටගෙන තිබේ. 

ඇතැම් පිරිස් මේවා හඳුන්වා දී ඇත්තේ අන් අය අපහසුතාවයට පත් කරන උපාංග ලෙසයි.

බ්ලූම්බර්ග් (Bloomberg) වාර්තාවලට අනුව, ඇපල් සමාගම මෙම ගැටලුවලට විසඳුම් ලෙස පහත දේවල් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් වෙයි.

*ඔබේ දත්ත කණ්ණාඩියෙන් පිටතට නොයන නිසා ඒවා 100%ක්ම ආරක්ෂිත වන අතර, කණ්ණාඩිය මඟින් ලබාගන්නා දත්ත කිසිදු සර්වර් (Server) එකකට නොයවා, උපාංගය තුළම පමණක් සකස් කෙරේ.

*පරිශීලකයන්ගේ පෞද්ගලික පටිගත කිරීම් ඇපල් සමාගමේ කෘත්‍රිම බුද්ධි මාදිලි පුහුණු කිරීම සඳහා යොදා නොගනී.

*ඡායාරූප හෝ වීඩියෝ ගැනීමට නොහැකි, අවට ඇති දේවල් හඳුනාගැනීමට පමණක් උදව්වන විශේෂ සෙන්සර් සහිත කැමරා පද්ධතියක් මෙයට ඇතුළත් විය හැක.

ඒ අනුව, මෙම නව උපාංගය 2027 ජූනි මාසයේදී පැවැත්වෙන WWDC සමුළුවේදී ප්‍රකාශයට පත්කර, එම වසර අගදී වෙළඳපොළට නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් වෙයි.