ඉතාලියෙන් රට පරවියෝ මෙරටට ගෙනා ව්‍යාපාරිකයෝ ගුවන්තොටේ දී මාට්ටු

ඉතාලියෙන් රට පරවියෝ මෙරටට ගෙනා ව්‍යාපාරිකයෝ ගුවන්තොටේ දී මාට්ටු

July 26, 2026   11:15 am

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 3,431,400ක් වටිනා විදේශීය පරවියන් 64දෙනෙකු සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති 'හරිත මාවත' ඔස්සේ පිටකර ගෙන යාමට තැත්කිරීමේදී ඊයේ (25) රාත්‍රී කාලයේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන, සුරතල් සතුන් අලෙවි කිරීමේ වෙළඳසැල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.

ඔවුන් මෙම සතුන් ඉතාලියෙන් මිළදී ගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන සහ සත්ත්ව නීරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් මෙම පරවියන් මෙරටට රැගෙනවිත් තිබුණි.

මෙම පරවියන් කුඩා යකඩ කූඩු තුළ බහා, ඒවා තමන් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ සඟවා ගෙන තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර විමර්ශනවලින් පසුව මෙම පරවියන් ආපසු ඉතාලිය වෙත රැගෙන යාම සඳහා භාරදීමට නියමිතය.