යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිව්දෙනෙකුට බරපතළ තුවාල
July 25, 2026 10:31 pm
තිස්ස - මාතර ප්රධාන මාර්ගයේ අම්බලන්තොට නගරයේදී අද (25) පස්වරු 7.15 ට පමණ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ගැබූ සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ.
අම්බලන්තොට පොලීසිය පවසන පරිදි, මෙම අනතුර සිදුවී ඇත්තේ අම්බලන්තොට සිට හම්බන්තොට දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ඊට ප්රතිවිරුද්ධ දෙසින් හම්බන්තොට දෙස සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ තවත් යතුරුපැදියක් එකිනෙක ගැටීමෙනි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තුවාලකරුවන් පළමුවෙන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්රතිකාර සඳහා ඔවුන් හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු අම්බලන්තොට වාදුරුප්ප ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් දෙදෙනා තංගල්ල ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්වේ.
අනතුරට හේතුව සහ ඊට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අම්බලන්තොට පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
