කැරපොත්තන්ගේ විරෝධතා නවතී - සියලු ඉල්ලීම්වලට ඉන්දීය රජය එකඟවෙයි
July 25, 2026 06:02 pm
විභාග අක්‍රමිකතා මුල්කරගනිමින් දින ගණනාවක් පුරා පැවති දැවැන්ත විරෝධතා නැවැත්වීමට කැරපොත්තා ජනතා පක්ෂය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අද (25) පස්වරුවේ ලිපියක් යොමු කිරීමෙන් අනතුරුවය.
විරෝධතාවේ නිරත වූ පිරිස ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඇතුළු සියලු ඉල්ලීම්වලට රජයේ පාර්ශ්වයෙන් එකඟවීම හේතුවෙන් විරෝධතා අවසන් කරන බවය.
"කොක්රෝච් ජනතා පක්ෂය" සහ ඉන්දීය මධ්‍යම රජය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර ඔහු මෙම තීරණය ගෙන තිබූ අතර අමාත්‍යවරයා සිය නිල X (ට්විටර්) ගිණුම ඔස්සේ ද මේ බව ප්‍රසිද්ධියට පත් කර තිබුණි.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කරන්නේ මසකට ආසන්න කාලයක් පැවති එරට තරුණ විරෝධතාවලින් අනතුරුවය.
තරුණ ප්‍රජාව නියෝජනය කරන කැරපොත්තා ජනතා පක්ෂය සිය විරෝධතා ආරම්භ කිරීමේ ප්‍රධානතම සටන් පාඨයක් බවට අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්වීම පත්ව තිබුණි.
නීට් වෛද්‍ය ප්‍රවේශ විභාගයේ සිදුවූ අක්‍රමිකතාවක් තරුණ විරෝධතා ආරම්භ වීමට හේතු වූ අතර, එහි ප්‍රධානතම චෝදනාව එල්ල වුණේ ධර්මේන්ද්‍ර ප්‍රධාන් අමාත්‍යවරයාටය.
අපේක්ෂකයින් මිලියන 2.3කට බලපෑම් ඇතිකළ මේ විභාග වංචාව සම්බන්ධව වගකීම භාරගෙන අධ්‍යාපන ඇමති ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් පසුගිය ජුනි 28 වැනිදා සිට මානව හිමිකම් ක්‍රියාකාරී සෝනම් වන්චුක් උපවාසයක ද නිරත වුණි.
ඊට සහාය පළ කරමින් ජූලි 18 වනදා ඉන්දියාවේ නූතන තරුණ ව්‍යාපාරයක් වන කොක්රෝච් ජනතා පක්ෂය එනම් කැරපොත්තා ජනතා පක්ෂයේ නායක අභිජීත් ඩීප්කේ ද උපවාසයක් ආරම්භ කළේය.
පසුව මෙම විරෝධතා නවදිල්ලියේ කොනොට් ප්ලේස්, ජන්තර් මන්තර් සහ පාර්ලිමේන්තුව හා අග්‍රාමාත්‍ය නිල නිවස අසල කේන්ද්‍රගතව තරුණයින් මූලික කරගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත විය.
අවසානයේ මෙම තරුණ විරෝධතාවය රාජ්‍ය විරෝධී කැරැල්ලක මුහුණුවරක් ගත්තේය.
එත් සමඟම නව දිල්ලිය පසුගිය 21 වනදා යුද පිටියක් බවට පත්වූ අතර පොලිස් ප්‍රහාරවලින් තරුණ තරුණියන් රැසක් තුවාල ලබා තිබුණි.
නවදිල්ලි නුවර පැවැත්වූ මෙම විරෝධතාව සඳහා ඉන්දියාවේ විපක්ෂයේ දේශපාලඥයින්ද සහාය දැක් වූ අතර එහිදී ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ද ඇති විය.
ප්‍රශ්න පත්‍ර වංචාව පිළිබඳ පාලක භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ඔවුන් පාර්ලිමේන්තුව දක්වා පාගමනක් ආරම්භ කළේ පසුගිය සඳුදාය.
රජය ඊට ප්‍රතිචාර දැක්වූයේ නවදිල්ලි අගනුවර ආරක්ෂාව තරකරමින්ය.
තරුණ තරුණියන් දහස් ගණනින් එක්වූ මෙම නැවුම් විරෝධතා ව්‍යාපාරය අයෝමය හස්තයකින් දැඩිව මර්දනය කිරීමට ඉන්දීය රජය කටයුතු කළේය.
එහිදී පොලිස් ප්‍රහාරයට ලක්ව විශාල පිරිසක් තුවාල ලැබූ අතර, තවත් 70 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුණි.
මෙම විරෝධතා හමුවේ රජය කෙතරම් බලපෑම් ඇති කළද විරෝධතා තව තවත් උග්‍ර වූ බැවින් විරෝධතා පාර්ශවය සහ රජයේ පාර්ශව අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත් වීය.
එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඇතුළු සියලු ඉල්ලීම්වලට රජයේ පාර්ශ්වයෙන් එකඟවීමත් සමඟ විරෝධතා අවසන් කිරීමට කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
