දිල්ලි විරෝධතා කලාපයේ ආහාර හිඟයක්

දිල්ලි විරෝධතා කලාපයේ ආහාර හිඟයක්

July 25, 2026   01:50 pm

ඉන්දියාවේ නව දිල්ලි හි විරෝධතා කලාපය තුළ ඔන්ලයින් ආහාර බෙදාහැරීම සහ ඊ වාණිජ කටයුතු සීමා කිරීමටත්, මහජන සංසරණය සීමා කිරීමටත් දිල්ලි පොලීසිය පියවර ගැනීමත් සමග එම කලාපයට ආහාර හිඟයක් මතුව ඇති බව වාර්තා වේ.

තරඟකාරී විවෘත විභාග ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර පිටවීම, ඉහළ රැකියා විරහිතභාවය සම්බන්ධයෙන් හටගත් කෝපය සහ ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට බලකරමින් නවදිල්ලියේ කොනොට් ප්ලේස්, ජන්තර් මන්තර් සහ පාර්ලිමේන්තුව හා අග්‍රාමාත්‍ය නිල නිවස අසල කේන්ද්‍රගතව තරුණයින් මූලික කරගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ විය.

මෙම තරුණ විරෝධතාවය මේ වනවිට රාජ්‍ය විරෝධී කැරැල්ලක මුහුණුවරක් ගෙන තිබේ.

විරෝධතා හේතුවෙන් නව දිල්ලිය පසුගිය 21 වනදා යුද පිටියක් බවට පත්වූ අතර පොලිස් ප්‍රහාරවලින් තරුණ තරුණියන් රැසක් තුවාල ලබා තිබුණි.

නවදිල්ලි නුවර පැවැත්වෙන මෙම විරෝධතාව සඳහා ඉන්දියාවේ විපක්ෂයේ දේශපාලඥයින්ද සහාය දැක් වූ අතර එහිදී ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමත් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ද ඇති විය.

ඉන්දීය මධ්‍යම රජයේ අධ්‍යාපන ඇමති ධර්මෙන්ද්‍ර ප්‍රධාන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රට තුළ මහජන විරෝධයක් ආරම්භ වූයේ පසුගිය ජුනි මාසයේ සිටය.

ඒ ගෙවුණු මැයි මාසයේදී එරට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය සඳහා පැවති විවෘත විභාගයක ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර පිටවීම මුල්කරගනිමිනි.

අපේක්ෂකයින් මිලියන 2.3කට බලපෑම් ඇතිකළ මේ විභාග වංචාව සම්බන්ධව වගකීම භාරගෙන අධ්‍යාපන ඇමති ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් පසුගිය ජුනි 28 වැනිදා සිට මානව හිමිකම් ක්‍රියාකාරී සෝනම් වන්චුක් උපවාසයක ද නිරත වුණි.

ඊට සහාය පළ කරමින් ජූලි 18 වනදා ඉන්දියාවේ නූතන තරුණ ව්‍යාපාරයක් වන කොක්රෝච් ජනතා පක්ෂය එනම් කැරපොත්තා ජනතා පක්ෂයේ නායක අභිජීත් ඩීප්කේ ද උපවාසයක් ආරම්භ කළේය.

ප්‍රශ්න පත්‍ර වංචාව පිළිබඳ පාලක භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ඔවුන් පාර්ලිමේන්තුව දක්වා පාගමනක් ආරම්භ කළේ පසුගිය සඳුදාය.

රජය ඊට ප්‍රතිචාර දැක්වූයේ නවදිල්ලි අගනුවර ආරක්ෂාව තරකරමින්ය.

තරුණ තරුණියන් දහස් ගණනින් එක්වූ මෙම නැවුම් විරෝධතා ව්‍යාපාරය අයෝමය හස්තයකින් දැඩිව මර්දනය කිරීමට ඉන්දීය රජය කටයුතු කළේය.

එහිදී පොලිස් ප්‍රහාරයට ලක්ව විශාල පිරිසක් තුවාල ලැබූ අතර, තවත් 70 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුණි.

මේ අතර කැරපොත්තා ජනතා පක්ෂයේ නියෝජිතයන් සහ එරට මධ්‍යම රජය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුන ද විරෝධතාකරුවන් සඳහන් කරන්නේ රට පුරා ආරම්භ කර ඇති විරෝධතා නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වීම, විරෝධතාකරුවන්ට එරෙහි නඩු ඉවත් කිරීම සහ දිවි නසාගත් සිසුන්ගේ පවුල් සඳහා වන්දි ලබාදීම ඇතුළු ඉල්ලීම් පිළිබඳ තීරණයක් ගන්නා ලෙසට පැය 24ක කාලයක් රජයට ලබාදෙන බව ඉන්දීය කැරපොතු පක්ෂය සඳහන් කළේය.

ඒ අනුව රජය සහ විරෝධතාකරුවන් යන දෙපාර්ශ්වය අතර දෙවැනි වටයේ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.