ගත වූ මාස 7ට වෙඩිතැබීම් 21ක්

ගත වූ මාස 7ට වෙඩිතැබීම් 21ක්

July 24, 2026   08:04 pm

වසරේ මේ දක්වා කාලය තුළදී වෙඩිතැබීම් 21ක් සිදුව ඇති අතර ඉන් 14 දෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලිසිය පැවසුවේ ඊයේ (23) දිනයේ දී පැය තුනක් වැනි කාලයක් තුළදී දෙමටගොඩ හා වත්තලදී වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති බවය. 

එහිදී ද පුද්ගලයෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබේ.

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී ඊයේ රාත්‍රි 9.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පැවසෙන කුඩු රොෂාන් නැමැත්තා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

නමුත් ඔහු වෙඩික්කරු පැමිණි අවස්ථාවේදී දුම්වැටියක් පානය කිරීමට ගොස් සිට ඇත.

පැමිණි වෙඩික්කරු කුඩු රොෂාන් හැඳ සිටි ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතබා තිබේ.

පොලිසිය සැක පළකරන්නේ වෙඩික්කරුට ඔවුන් දෙදෙනා හඳුනාගැනීමට නොහැකිව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, වනාතේ සුමේධ නම් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කුඩු රොෂාන්ගේ සහෝදරයාගේ තුන් හැවිරිදි දියණියගේ උපන්දින සාදය ඊයේ පස්වරුවේ පවත්වා ඇති අතර ඔහු කුඩු රොෂාන් සමග ඊට එක්වී ඇති බව වාර්තා වේ.

ඝාතනයට ආ වෙඩික්කරු ද සාදයට පැමිණි අයෙක් යැයි හැඟෙන ලෙස නර්තනයේ යෙදෙමින් ගොස් වෙඩිතැබීම සිදුකර ඇති බව ද පොලිසිය පැවසුවේය.

වෙඩික්කරු පැමිණි මෝටර් රථය ජා ඇල ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඊයේ (23) රාත්‍රියේදීම පොලිසිය විසින් සොයාගනු ලැබීය.

පොලිසිය පැවසුවේ වෙඩිතැබීම මට්ටක්කුලියේ මනෝජ් නැමැත්තා මෙහෙයවා ඇතැයි සැකකරන බවය.

මේ අතර පොලිසිය, මෙම වෙඩිතැබීමේ සිද්ධියට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වෙඩික්කරුවන්ට ආධාර අනුබලදීම සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ හා කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් 5ක් විසින් සිදු කරයි.

මේ අතර දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරු 6.35ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබුණි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩිතැබීම සිදුකරන අයුරු සීසීටීවී කැමරාවක සටහන් තිබුණි.

එහිදී ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩිවැදීම් තුවාල සහිතව දිවයද්දිත් ඔහුට පන්න පන්නා වෙඩි තබන අයුරුද එහි සටහන්ව ඇත.

අනතුරුව වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පලා ගොස් තිබුණි.

තුවාල ලැබූ පුද්ගලයා දිනෝද් වරුණ බණ්ඩාර නම් බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

ඔහුගේ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව වර්තා වේ.

එම පුද්ගලයා පසුගිය වසරේ ජූලි මාසයේදී බොරැල්ලේ සිදු වූ වෙඩිතැබීමක වෙඩික්කරුට ගිනිඅවිය ලබාදුන් පුද්ගලයා බව පොලිසිය පැවසීය.

එම සිද්ධියට ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්ව සිටින අතර ඔහු මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන වනාතේ දුමින්ද නම් අපරාධකරුගේ සමීපතමයෙකි.

පොලිසිය සැක පළකරන්නේ මෙම වෙඩිතැබීම වනාතේ චතූ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවනු ලැබූ බවය.

මෙවන් පසුබිමක දෙවුන්දර දේවාලයේ පෙරහර දැඩි ආරක්ෂාවක් යටතේ පැවැත් වේ.

එහි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 600ක් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් එක්කර ඇති බව පොලිසිය පැවසීය.