ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ට්‍රම්ප් සැරසෙයි
July 24, 2026 04:31 pm
ඉරානයට එරෙහිව "දැවැන්ත ප්‍රහාරයක්" දියත් කරන්නේ ද යන්න පිළිබඳව තමන් ළඟදීම තීරණයක් ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ එම ප්‍රහාරය මෙතෙක් දක්නට ලැබුණු ප්රහාරයන්ට වඩා විශාල වනු ඇති බවය.
"මම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම ගැන සලකා බලමින් සිටිනවා. පෙර කවරදාකටත් වඩා විශාල එකක්. මම තීරණයක් ගැනීමට ඉතා ආසන්නයි. අපි ඒ සඳහා සම්පූර්ණයෙන්ම සූදානම්," යනුවෙන් ට්‍රම්ප් එරට මාධ්‍ය වෙත පවසා තිබේ.
කෙසේවෙතත් ඉරානයට එල්ල කරන මෙම ප්‍රධාන ප්‍රහාරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා නිශ්චිත කාලසීමාවක් පිළිබඳව ට්‍රම්ප් සඳහන් කර නැත.
එමෙන්ම තමන් විසින් ඉල්ලා සිටියහොත් ඊශ්‍රායලය ද මෙම මෙහෙයුමට එක්වනු ඇති බවත්, ඊශ්‍රායලය ඊට සම්බන්ධ වුවහොත් ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාරවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය දෙසතිය පුරා ඇමෙරිකානු හමුදා දිගින් දිගටම ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර එරට මධ්‍යම අණදෙන මූලස්ථානය ඊයේ (23) රාත්‍රියේදීත් අඛණ්ඩව 13 වන දිනටත් ප්‍රහාර එල්ල කළේය.
මේ අතර යේමනයේ ඉරාන හිතවාදී හූති සන්නද්ධ කණ්ඩායම විසින් රතු මුහුදේ සෞදි අරාබියට අයත් තෙල් නැව් දෙකකට ප්‍රහාර එල්ල කළ බවට ප්‍රකාශ කිරීමෙන් පසු, ඉදිරියේදී සිදුවන ඕනෑම හූති ප්‍රහාරයකට ඉරානය වගකිව යුතු බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
හූතිවරුන් පසුගිය සඳුදා සෞදි අරාබියට එරෙහිව මුහුදු මාර්ග සම්බාධක පැනවූ අතර, රතු මුහුද සහ බබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සෞදි රාජ්‍යයේ තෙල් අපනයන නවතා දමන බවට තර්ජනය කළහ.
