EPF-ETF වත්කම් ගැන කම්කරු නි.ඇමතිගෙන් හෙළිදරව්වක්

EPF-ETF වත්කම් ගැන කම්කරු නි.ඇමතිගෙන් හෙළිදරව්වක්

July 24, 2026   02:52 pm

ETF හා EPF අරමුදල් පිහිටුවීමෙන් පසු ගතවූ දශක කිහිපයක කාලය තුළ කිසිදු රජයක් සිදු නොකළ අන්දමේ විධිමත් අධ්‍යයනයක් සිදු කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අරමුදල්වල කාර්යක්ෂමතාව සහ සාමාජික ප්‍රතිලාභ ඉහළ නැංවීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව හරහා නව ක්‍රියාමාර්ග රැසක් දැනටමත් ආරම්භ කර ඇති බවය.

වත්මන් දත්ත වාර්තාවලට අනුව සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වී ඇති සහ ප්‍රතිලාභ ලබන සමස්ත සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 22.9ක් වන අතර, ඒ අතරින් මාසිකව සාමාජික මුදල් බැර වන සක්‍රිය ගිණුම් සංඛ්‍යාව මිලියන 3.1ක් වේ. 

එමෙන්ම සේවක භාරකාර අරමුදලෙහි ලියාපදිංචි සාමාජිකයින් සංඛ්‍යාව මිලියන තුනක් පමණ වේ.

2025 අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන 4.9ක් සහ සේවක භාරකාර අරමුදලෙහි වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 637.5ක් වන බවද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියේය.

 

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ 2025 වසර සඳහා සක්‍රිය සේවා යෝජක සංඛ්‍යාව එක්ලක්ෂ එක්දාහක් වන අතර, ඉන් අර්ධ රාජ්‍ය අංශයේ සේවා යෝජක සංඛ්‍යාව තුන්සිය හැත්තෑ හයක් වන බවය.

ගෙවීම් පැහැර හරින ලද පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවලින් හිඟ මුදල් අය කර ගැනීමේ ක්‍රියාවලිය කම්කරු දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කඩිනම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කම්කරු දෙපාර්තමේන්තුව හා මහ බැංකුව දත්ත පද්ධතිය ඒකාබද්ධ කර නව දත්ත පද්ධතියක් යටතේ කටයුතු කිරීමට නව මෘදුකාංගයක් මේ වන විට සකස් කරමින් සිටින බවද ඒ මහතා මෙහිදී කියා සිටියේය.

එමෙන්ම, සේවකයින් ලියාපදිංචිය ඇතුළු EPF සේවාවන් රැසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීම සඳහා වන "ඩිජිටල් EPF" පහසුකම පසුගිය දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් ආරම්භ කර ඇති බවද ඔහු මෙහිදී පවසා සිටියේය.

මෙම ප්‍රතිසංස්කරණ සහ ඉදිරි සැලසුම් හරහා තනි සේවා කවුළුවක් මඟින් EPF සහ ETF අරමුදල් දෙකටම අදාළ සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාගැනීමේ හැකියාව සාමාජිකයින්ට උදා වන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා,

''සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වී ඇති සහ ප්‍රතිලාභ ලබන සමස්ථ සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 22.9කි. ඉහත සාමාජිකයින් අතරින් මාසිකව සාමාජික මුදල් බැර වන ගිණුම් සංඛ්‍යාව මිලියන 3.1ක්. සේවක භාරකාර අරමුදලෙහි ලියාපදිංචි සාමාජිකයින් සංඛ්‍යාව මිලියන තුනක් පමණ වේ. 2025 වසර අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන හතරයි දශම නවයක්. ඒ වගේම සේවක භාරකාර අරමුදලෙහි වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන හයසිය තිස් හතයි දශම පහක්. 2025 වසරට සක්‍රීය සේවා යෝජක සංඛ්‍යාව එක්ලක්ෂ එක්දාහක්. අර්ධ රාජ්‍ය අංශයේ සේවා යෝජක සංඛ්‍යාව තුන්සිය හැත්තෑ හයක්. ETF,EPF අරමුදල් පිහිටුවීමෙන් පසු කිසිඳු රජයක් විසින් මේ දක්වා එවැනි විධිමත් අධ්‍යනයක් සිදු කරලා නැහැ. EPF අරමුදල 1958 පිහිටවීමේ පනතකින්.. ETF අරමුදල පිහිටෙව්වේ 1980... එදා ඉඳන් මේ දක්වා එවැනි කිසිඳු අධ්‍යයනයක් මේ ගෙවුණු කාල සීමාවට කරලා නැහැ.. කෙසේ වුවත් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පහත පරිදි ක්‍රියා කරනු ඇත. ගෙවීම් පැහැර හරින අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවලින් හිග අය කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරලා තිබෙනවා. උදාහරණයක් විදිහට අර්ධ රාජ්‍ය අංශයේ හිඟ සේවක අර්ථසාධක අරමුදල් සඳහා 2026 මගින් රුපියල් බිලියන 3.4ක් වෙන් කරලා දීලා තිබෙනවා.

ඒ විතරක් නෙමෙයි මේ වන විට විවෘත වරෙන්තු හා අක්‍රිය වී ඇති නඩු සක්‍රිය කිරීම සඳහා කඩිනම් පියවර ආරම්භ කරලා තියෙනවා.. කම්කරු දෙපාර්තමේන්තුව හා මහ බැංකුව දත්ත පද්ධතිය ඒකාබද්ධ කර නව දත්ත පද්ධතියක් යටතේ කටයුතු කිරීමට නව මෘදුකාංගයක් සොෆ්ට්වෙයාර් එකක් සකස් කරමින් තිබෙනවා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන්, සේවය සහ සේවක ලියාපදිංචි ලියාපදිංචි මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ඩිජිටල් EPF  පහසුකම් මේ වෙනකොටත් අපි සපයලා තියෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ අපි එය ලෝන්ච් කරා. ''