පැහැරගත් චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩින් හමුවෙයි - රට පනින්න හැදූ චීන්නු දෙන්නෙක් කොටුවෙයි
July 23, 2026 06:41 pm
වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩ කරඳන කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගැනුණි.
අද අලුයම කොළඹ කොටුව, වරාය නගරයේ මාලු ඇල්ලීම සඳහා කැබ් රථයකින් චීන ජාතිකයින් තිදෙනෙකු පැමිණ තිබුණි.
පසුව වාහන දෙකකින් එම ස්ථානයට පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී ඇතැයි පොලීසිය පවසයි.
එහිදී පහරදුන් පිරිස එක් චීන ජාතිකයෙකු පැහැරගෙන, ඔවුන් පැමිණි එක් වෑන් රථයක්ද එහිදමා පළාගොස් තිබුණි.
අදාළ වෑන් රථයේ තිබී වායු පිස්තෝලයක් සොයාගැනුණි.
මේ අතර කරඳන ගේට්ටුකඩේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය ඇහැළියගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් කැළැබද ප්‍රදේශයක සැකකටයුතු ගල් ගොඩක් හමුව තිබුණි.
එහි ඇතුළත මිනිස් අතක කොටසක් තිබෙන ආකාරය දුටු පොලීසිය වහාම එම ස්ථානය පරීක්ෂාවට ලක්කර තිබුණි.
එහිදී අනාවරණය වී තිබුණේ අදාළ ගල්ගොඩෙහි පුද්ගල මළසිරුරක් සඟවා තිබෙන බවය.
එය චීන ජාතිකයෙකුගේ බවට හඳුනාගත් අතර, පසුව තහවුරු වී තිබුණේ අදාළ සිරුර කොළඹ වරාය නගරයේදී පැහැරගත් චීන ජාතිකයාගේ බවටය.
ඒ අනුව සිරුර වැඩිදුර විමර්ශන සඳහා අද පස්වරුවේ අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන ගියේය.
මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක්ද සොයාගෙන ඇති අතර එය සැකකාර චීන ජාතිකයින් පිරිස මෘත දේහය රැගෙන ඒම සඳහා භාවිත කළ එකක් බවට සැකකෙරේ.
මේ අතර සිද්ධියට සම්බන්ධ බවට සැක චීන ජාතිකයන් දෙදෙනෙකු මෙරටින් පළායාමට සඳහා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා සඳහන් කළේය.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලීසියට රැගෙනවිත් ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.
චීන ජාතිකයින් අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණවී නොමැත.
චීන තානාපති කාර්යාලය මෙම සිද්ධිය පිළිබඳව සමීපව අවධානයෙන් පසුවන අතර, කරුණු කාරණා තහවුරු කර ගැනීම සඳහා කඩිනමින් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසත්, චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරක්ෂිත කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ වෙසෙන චීන පුරවැසියන් තම ආරක්ෂාව පිළිබඳව වඩාත් අවධානයෙන් හා දැනුවත්ව සිටිය යුතු බවත්, හදිසි අවස්ථාවකදී වහාම පොලීසියට දැනුම් දෙන ලෙසත්, සහාය සඳහා තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙසත් තානාපති කාර්යාලය ඔවුන්ට මතක් කර දෙයි.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්විමන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු තහවුරුකර ගැනීම සඳහා කඩිනමින් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටින බවය.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරක්ෂිත කරන ලෙසද පොලිසියෙන් ඉල්ලා සිටින බවය.
