සාංචි මහබෝධි 75 වන සංවත්සරයට එක්වන ලෙසට ජනපති අනුරට ආරාධනා
July 23, 2026 06:20 pm
ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළ බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
ජනාධිපතිවරයා හමුවී ඊයේ (22) දින තමන් විසින් සිදු කළ ආරාධනාව ඔහු පිළිගත් බව උන්වහන්සේ සඳහන් කළේය.
එහි දී අනුර කුමාර දිසානායක මහතා සමඟ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ ඉන්දියාවේ,ජපානයේ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ යොෂීඩා සමාජ හා සංස්කෘතික පදනම ක්‍රියාත්මක කරන ළමා අධ්‍යාපන හා සමාජසේවා කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මුම්බායිහි ප්‍රකට මාධ්‍යවේදී ශකීල් සිද්දික් මහතා රචනා කළ බානගල උපතිස්ස නා හිමි චරිතාපදානය වන "අංජලිකරණීයෝ' ග්‍රන්ථයේ පිටපතක් බානගල නා හිමියෝ මේ අවස්ථාවේ ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබේ.
ධර්මාශෝක රජු සමයේ ඉදිකළ පසුව නටඹුන් බවට පත් වූ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි ස්ථූප සංකීර්ණයෙන් බ්‍රිතාන්‍ය පාලන සමයේ පුරාවිද්‍යාඥයන් සොයා ගත් සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකර, 1952 ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු විසින් විවෘත කරන ලදී.
