පාතාල තර්ජන මැද අද ඇරඹෙන දෙවිනුවර පෙරහැර මංගල්‍යය

පාතාල තර්ජන මැද අද ඇරඹෙන දෙවිනුවර පෙරහැර මංගල්‍යය

July 23, 2026   08:28 am

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය අද (23) ආරම්භ වීමට නියමිත අතර අගෝස්තු මස 05 දින දක්වා පැවැත්වීමට නියමිතය.

දෙවිනුවර නැත්නම් දෙවුන්දර දේවාලය පහතරට ප්‍රදේශයේ පිහිටි ඉතා ප්‍රකට දේවාලයකි.

මෙම දේවාලය දාපූළුසෙන් රජතුමා විසින් කරවා ඇති අතර, දෙවියන් ගොඩ බැස්ස තොට යන අදහසින් මෙම ස්‌ථානයට නම ලැබී ඇත.

මෙම දේවාලය උපුල්වන් දේවාලය ලෙසද හඳුන්වනු ලබන අතර උපුල්වන් සහා විෂ්ණු එකම දෙවි කෙනෙක්‌ ලෙස පිළිගෙන ඇති බැවින් මෙම විෂ්ණු දේවාලය ලෙස හඳුන්වයි.

පෙරහැර ආරම්භය සනිටුහන් වන්නේ චිරානුගත සම්ප්‍රදායන් අනුකූල සිරිත් විරිත්වලට අනුව කප්සිටුවීමේ මංගල්‍යයෙනි.

පෙරහැර මංගල්‍යය අවසානයේ දී රන්දෝලි පෙරහැර පවත්වනු ලබන අතර, දේවාල භුමියේ කෝල්මුර යාගයක්‌ පවත්වා දේව දානය දීමෙන් අනතුරුව පෙරහැර නිමාවට පත්කරනු ඇත.

දෙවුන්දර පෙරහැරේ ඇති විශේෂ ලක්‌ෂණයක්‌ නම් , එහි පහත රට නැටුම් බහුල වශයෙන් දක්‌නට ලැබීමයි. මෙම නැටුම් අතර විවිධ කාන්තා නැටුම් ද ඇතුළත්ව ඇත.

මෙවර දෙවිනුවර පෙරහැර මංගල්‍යය අන් කවරදාටත් වඩා රට තුළ කතාබහට ලක්ව ඇත්තේ පසුගිය දින කිහිපය පුරා පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි නායකින් දෙදෙනෙකු අතර ඇතිව තිබෙන මතගැටුම හේතුවෙනි. 

දේවාල භුමිය පිටුපස නිවසකට ද වෙඩි ප්‍රහාරයක් පෙරේදා (21) රාත්‍රීයේ එල්ල වී තිබුණේ මෙවන් පසුබිමකය.

මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සැකපල කරනු ලබන්නේ, අදාළ වෙඩිතැබීම ‘දෙහිබාලේ මල්ලි’ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවටය.

දෙවුන්දර දේවාලයේ පෙරහැරට සහභාගිවන කාවඩි නර්තන කණ්ඩායම් අඩුකිරීම සම්බන්ධයෙන් ඉකුත් 20 වැනිදා පුද්ගලයෙකු දෙවුන්දර දේවාලයේ බස්නායක නිළමේ වන තිලිණ මධුසංක මහතාට මරණ තර්ජන සිදුකර තිබුණි. 

ඒ කංජිපානි ඉම්රාන් විසින් භාවිත කරන KPI යන අන්වර්ථ නාමය භාවිත කරමිනි. 

ඊට ප්‍රතිචාර දක්වමින් ‘දෙහිබාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් කංජිපානි ඉම්රාන්ට මරණ තර්ජනය කරන බව පැවසෙන හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.

ඉන් අනතුරුව ඔහු තවත් හඬපටයක් සමාජ මාධ්‍යවෙත නිකුත්කර තිබුණි.

එවන් පසුබිමක දෙවුන්දර දේවාලයේ සිට මීටර 200ක පමණ දුරින් පිහිටි නිවසකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩිතබා තිබීමත් සමඟ මෙම මතගැටුම තවත් තිව්‍ර විය. 

වෙඩිතැබීම අසල වූ CCTV කැමරාවක සටහන්ව තිබුණු අතර, වෙඩිතැබීමෙන් පසුව ද දෙහිබාලේ මල්ලි නම් අපරාධකරු බවට පවසමින් තවත් හඬපටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කෙරුණි. 

එහි සඳහන්ව තිබුණේ, “ඔය දුන්නේ ගමයි ආගමයි පාවාදීපු ගෝතයන්ට...අපේ දෙවුන්දර ගමේ ඉන්න...ගෝතයින්ට ඔය දුන්නේ රිහසල් එකක්...ආ ! ඊළඟ එක බලමු පස්සේ” යනුවෙනි. 

මෙවන් පසුබිමක අද ආරම්භ වන දෙවිනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍ය වෙනුවෙන් ආරක්ෂාව දැඩි කර ඇති අතර, පොලිස් නිලධාරීන් 500කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇතැයි පොලීසිය පැවසීය.

ඡායාරූප උපුටාගැනීම - Devinuwara Esala Perahara පිටුවෙනි