ශාන්ත බණ්ඩාර පුත් අනුදට එරෙහි සිද්ධියේ සම්පූර්ණ කතාව
July 22, 2026 09:44 pm
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාරපැය 24 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ (21) සැකකරුව අත්අඩංගුවට ගනු ලැබූ අතර, අද දින ඔහුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පවරා ඇති බවය.
අදාළ මංකොල්ලකෑම සැලසුම් කළ ප්‍රධාන සැකකරු අනුද බණ්ඩාර නමැත්තා බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
මංකොල්ලකෑම සිදුවන අවස්ථාවේදී සැකකරු එම ස්ථානයේ සිට මීටර් 50ක් පමණ දුරින් රැඳී සිට ඇති බව ද විමර්ශන නිලධාරීහු පෙන්වා දුන්හ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා සැකකරු රැඳවුම් නියෝග මත තබා ගැනීමට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, මෙම පැය 24ක රැඳවුම් නියෝගය ලබා දුන්නේය.
