header logo
SLIC
උණුසුම් පුවත්
දුරදිග යන දෙවුන්දර පෙරහැරේ කෝන්තරය
Jul 22, 202607:09 PM
දුරදිග යන දෙවුන්දර පෙරහැරේ කෝන්තරය
EDEX

මාතර, දෙවුන්දර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර ඇතිවී ඇතැයි පැවසෙන මත ගැටුම වෙඩි තැබීමක් දක්වා මේ වනවිට දුරදිග ගොස් තිබේ.

ඊට ආසන්නම හේතුව වන්නේ දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවකු ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමය.

පොලිසිය සැකපළ කරන්නේ දෙහිබාලේ මල්ලි සහ කංජිපානි ඉම්රාන් නම් අපරාධකරුවන් මෙම ගැටුම පිටුපස සිටින බවය.

මෙවන් පසුබිමක එළැඹෙන 29 වැනිදා පැවැත්වීමට නියමිත දෙවුන්දර දේවාලයේ පෙරහැර සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන ඇත.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා පොලිසිය ඊට එක්කිරීමට නියමිතය.

දැනට ලැබී ඇති තොරතුරු අනුව ඊයේ සිදුකළ වෙඩිතැබීම දෙහිබාලේ මල්ලි නම් අපරාධකරුගේ පාර්ශ්වය මෙහෙයවා ඇත.

දෙවුන්දර දේවාලයේ පෙරහැරට සහභාගිවන කාවඩි නර්තන කණ්ඩායම් අඩුකිරීම සම්බන්ධයෙන් ඉකුත් 20 වැනිදා කිසිවකු විසින් දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ වන තිළිණ මධුසංක මහතාට මරණ තර්ජන සිදුකර තිබුණි.

කංජිපානි ඉම්රාන් විසින් භාවිත කරන 'KPI' යන අන්වර්ථ නාමය භාවිත කරමින් එම තර්ජනය සිදුකර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් දෙහිබාලේ මල්ලි නම් අපරාධකරු විසින් කංජිපානි ඉම්රාන්ට මරණ තර්ජනය කරන බව පැවසෙන හඬපටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

එම හඬපටයට කංජිපානි ඉම්රාන් බවට පවසමින් ප්‍රතිචාර දක්වා තිබූ හඬපටයක් මෙන්ම, ඊට දෙහිබාලේ මල්ලි බව පැවසෙන තවත් හඬපටයක්ද සමාජ මාධ්‍ය වෙත මේ වනවිට නිකුත්කර තිබේ.

එවන් පසුබිමක් තිබියදීය ඊයේ රාත්‍රියේ දෙවුන්දර දේවාලයේ සිට මීටර 200ක පමණ දුරින් පිහිටි නිවසකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇත්තේ.

එම වෙඩිතැබීම අසල වූ සීසීටීවී කැමරාවකද සටහන්ව තිබුණි.

කෙසේ නමුත් වෙඩිතැබීමෙන් පසුවද දෙහිබාලේ මල්ලි නම් අපරාධකරු බවට පවසමින් තවත් හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත්කර ඇත.

https://youtu.be/cBZ7HygauRY
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight