ළමා ලිංගික අපයෝජන දර්ශන ළඟ තබාගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් කැනඩාවේදී අත්අඩංගුවට

July 22, 2026   06:48 pm

කැනඩාවේ ටොරොන්ටෝහි පිහිටි ප්‍රමුඛතම 'Hospital for Sick Children' නම් රෝහලේ සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු ළමා ලිංගික අපයෝජන සහ හිංසන වලට අදාළ දර්ශන හා තොරතුරු අන්තර්ජාලය ඔස්සේ නැරඹීම සහ ළඟතබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි දිසානායක නමැති වෛද්‍යවරයෙකි. 

ටොරොන්ටෝ පොලීසියේ අන්තර්ජාල ළමා හිංසන පිළිබඳ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එරට පොලීසිය සඳහන් කළේ 2026 ජනවාරි මාසයේදී මෙම විමර්ශනය ආරම්භ වූ බවය.

ඉන්පසුව පෙබරවාරි මාසයේදී අදාළ රෝහල සහ සැකකරුගේ පෞද්ගලික නිවස පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගත් අතර, එහිදී ඔහු සේවයේදී භාවිත කළ පරිගණකය ඇතුළු විද්‍යුත් උපකරණ කිහිපයක් පොලිස් බාරයට ගෙන ඇත.

ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ අන්තර්ජාලය ඔස්සේ ඒවා ලබා ගැනීම යන චෝදනා මත සැකකරුව ඊයේ (21)  ඔන්ටේරියෝ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත්, ඔහුට එරෙහි චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ තහවුරු වී නොමැති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

මෙම චෝදනා සැකකාර වෛද්‍යවරයාගේ වෘත්තීයමය කටයුතුවලට අදාළ වන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බව ටොරොන්ටෝ පොලීසිය තහවුරු කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් 'හොස්පිටල් ෆෝ සික් චිල්ඩ්‍රන්' රෝහල සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳව තමන් දැඩි ලෙස කම්පනයට සහ කණගාටුවට පත් වූ බවය.

අදාළ පරීක්ෂණ පිළිබඳව දැනගැනීමට ලැබුණු වහාම වෛද්‍ය දිසානායක මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බවත්, රෝගීන්ට හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම තීරණයෙන් යම් අවදානමක් ඇති බවට තොරතුරු ලැබී නොමැති බවත් රෝහල් බලධාරීහු වැඩිදුරටත් පවසති.