සුරැකුම් සේවා රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රමුඛතාවක් විය යුතුයි – අගමැති හරිනි

සුරැකුම් සේවා රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රමුඛතාවක් විය යුතුයි – අගමැති හරිනි

July 22, 2026   06:11 pm

සුරැකුම් සේවා තවදුරටත් පවුලක් තුළ පමණක් සිදුවිය යුතු පෞද්ගලික වගකීමක් ලෙස නොසලකා, එය ජාතික ආර්ථික සහ රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.

ප්‍රමාණවත් සහ දැරිය හැකි මිලකට රැකවරණ සේවා නොමැති වීම නිසා පවුල්වලට තනිව විසඳුම් සොයා ගැනීමට සිදුවන බවත්, බොහෝ අවස්ථාවලදී ඒ වෙනුවෙන් තම ජීවිත වෙනස් කර ගැනීමට සිදුවන්නේ කාන්තාවන්ට බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ගේ සේවා කාලය අඩු වීම, උසස්වීම් හෝ රැකියා අවස්ථා අහිමි වීම, වෘත්තීය ජීවිතය අතරමග නතර කිරීම හෝ ශ්‍රම බලකායෙන් සම්පූර්ණයෙන් ඉවත් වීම වැනි තීරණ ගැනීමට සිදුවේ. මේ හරහා කාන්තාවන්ට ආර්ථික ස්වාධීනත්වය අහිමි වන අතරම, රටටද වටිනා කුසලතා, දැනුම සහ ඵලදායී ශ්‍රම ශක්තිය අහිමි වන බව ඇය සඳහන් කළාය.

2026 ජූලි 21 වනදා පැවැති "සුරැකුම් ආර්ථිකය සඳහා මූල්‍යකරණය: ඒ සඳහා පාර්ලිමේන්තුවේ භූමිකාව" (Financing the Care Economy: The Role of Parliament) පිළිබඳ විශේෂ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, රැකවරණ ආර්ථිකය සඳහා ආයෝජනය කිරීම හුදෙක් සමාජ සුබසාධන වියදමක් පමණක් නොව, එය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ මානව ප්‍රාග්ධනය ශක්තිමත් කරන උපායමාර්ගික ආයෝජනයක් බවයි. 

දැරිය හැකි මිලකට ළමා රැකවරණ සේවා, ප්‍රමාණාත්මක මුල් ළමාවිය අධ්‍යාපනය, වැඩිහිටි සහ ආබාධිත තැනැත්තන් සඳහා වන රැකවරණ සේවා මෙන්ම ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධති මඟින් කාන්තාවන්ට ශ්‍රම බලකායට එක්වීමට වැඩි අවස්ථාවක් හිමිවන අතර, ඒ හරහා නව රැකියා අවස්ථා රැසක්ද නිර්මාණය වන බව ඇය පෙන්වා දුන්නාය.

"අයවැය යනු හුදෙක් මූල්‍යමය ලේඛනයක් පමණක් නොවේ. එය රටක් ලෙස අපගේ ප්‍රමුඛතා පිළිබිඹු කරන දෙයක්. එමඟින් රාජ්‍ය සම්පත් සඳහා ආයෝජන වෙන් කිරීම සම්බන්ධයෙන් අප ගන්නා තීරණ මෙන්ම අප වටිනාකම ලබා දෙන්නේ කුමක් සඳහා ද, රටේ සංවර්ධනය සඳහා වැදගත් ලෙස සලකනු ලබන්නේ කුමක්ද යන්න පැහැදිලි වනවා." යනුවෙන්ද පැවසීය.

වෙස්ට්මින්ස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පදනම (WFD) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය එක්ව සංවිධානය කළ මෙම සාකච්ඡාව සඳහා කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, විදේශීය නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.