ගල්කිස්සේ වැරදුනු කුරුමානම

ගල්කිස්සේ වැරදුනු කුරුමානම

July 22, 2026   10:37 am

ගල්කිස්ස පොලිස් වසමේ, ටෙම්පල් පාර, ගල්කිස්ස යන ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ. 

ඊයේ (21) රාත්‍රී 10.30ට පමණ අදාළ පුද්ගලයා නිවසේ උඩුමහලේ රූපවාහිනිය නරඹමින් සිටියදී ඒ අසලට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් “උඹ චමින්ද නේද” යනුවෙන් විමසා ඔහුට වෙඩි තැබීමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේ අදාළ පුද්ගලයා පමණක් නිවසේ සිට ඇති අතර පිස්තෝල වර්ගයේ ගිනිඅවියකට සමාන අවියකින් වෙඩි තැබීමට තැත් කර ඇති බව සඳහන්ය. එම අවස්ථාවේ දී ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැත.

මේ සම්බන්ධයෙන් අසල්වැසියෙකු විසින් ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී දැනුවත් කර ඇත. 

තුවක්කුකරුවන් නිවසට ඇතුළු වූ අවස්ථාවේ අදාළ පුද්ගලයා වෙත පයින් පහරක් එල්ල කර ඇති අතර, පසුව අසල තිබූ පුටුවකින් පහරදීම හේතුවෙන් නිවෙස්හිමියාගේ හිසට සුළු තුවාල සිදුව තිබේ. 

එම පහරකෑමෙන් පසුව ඔහු නිවසෙන් මිදී අසල ඇති ඔහුගේ හිතවතෙකුගේ නිවසට ගොස් සැඟවී සිට ඇති අතර, නාඳුනන වෙඩික්කරුවන් ද එම නිවසට පැමිණ දොරට තට්ටු කර පලාගොස් ඇත.

වෙඩිතැබීමට උත්සාහ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නිවෙස්හිමියා AC යන්ත්‍ර අලුත්වැඩියා කරන කාර්මික ශිල්පියෙකු බවට තොරුතුරු ලැබී තිබේ. 

නිවෙස්හිමියා මීට පෙර අත්අඩංගුවට පත්වී නොමැති අතර, ඔහුගේ පුත්‍රය අවස්ථා දෙකකදී පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් වරදකරු වී ඇත.

2024.01.26 වන දින ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් ගංජා ප්‍රවාහන කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති අතර, 2025.05.12 වන දින ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් මනුෂ්‍ය ඝාතනයට අනු බලදීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇත.