පුනර්ජනනීය විදුලි මිල තීරණයට මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන්

පුනර්ජනනීය විදුලි මිල තීරණයට මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන්

July 22, 2026   09:15 am

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආශ්‍රිතව ජනනය කරන විදුලිය මිලදී ගැනීමේ මිල තීරණය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම අද (22) අවසන් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම අදහස් පදනම් කරගනිමින් ඉදිරි මාස 6 සඳහා පුනර්ජනනීය විදුලිය මිල තීරණය කිරීමට නියමිත බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදුලි බල ප්‍රතිසංස්කරණ පනත අනුව, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආශ්‍රිතව ජනනය කරන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම් වෙත මිලදී ගැනීමේදී අදාළ මිල සහ මිල සූත්‍රය තීරණය කිරීම හා අනුමත කිරීමේ බලය මහජන උපයෝගීතා කොමිසම වෙත පැවරී තිබේ.

ඒ අනුව, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කරන විදුලිය මිලදී ගැනීම සඳහා අදාළ මිල සූත්‍ර සකස් කර අනුමත කර ඇති බව ජයනාත් හේරත් මහතා පැවසීය.

එම මිල සූත්‍ර අනුව විදුලි මිල ගණන් තීරණය කිරීම සම්බන්ධයෙන් මාස දෙකකට පමණ පෙර මහජන උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කළ බවත්, එහිදී විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර අවශ්‍ය දත්ත ලබාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.