ශ්‍රී  ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ

ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ

July 22, 2026   07:34 am

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවති රැස්වීමේදී  ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක වත්මන් මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

දේශීය සහ ගෝලීය ආර්ථික තත්ත්වයන්හි සිදුවන වෙනස්කම් සහ ඉදිරි දැක්ම සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බව මහ බැංකුව සඳහන් කරයි.

මැදපෙරදිග කලාපයේ යළි උත්සන්න වී ඇති බලපෑම හේතුවෙන් ගෝලීය භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන් ඛනිජ තෙල් මිල ගණන්, ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් ඇති කළ හැකි අතර, විවිධ මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකි බව මහ බැංකුව පෙන්වා දෙයි.

2026 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය වාර්ෂික පදනම මත 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට ප්‍රධාන වශයෙන් දේශීය බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම බලපා තිබේ.

ඉදිරි කෙටි කාලය තුළ උද්ධමනය 5%ක ඉලක්කයට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි නමුත්, ක්‍රමයෙන් ඉලක්කගත මට්ටම වෙත යළි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, මෑත කාලීන උද්ධමන ඉහළ යාම ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක හේතුවෙන් සිදුවූවක් වුවද, ආර්ථිකයේ ඉල්ලුම් තත්ත්වයන් ද ශක්තිමත් වී ඇති බව මහ බැංකුව පවසයි.

මේ අතර, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් බාහිර අංශයට එල්ල වූ පීඩනය යම් තරමකට පහව ගොස් ඇතත්, යළි උත්සන්න වී ඇති ආතතීන් හේතුවෙන් ඉදිරි දැක්ම තවදුරටත් අවිනිශ්චිත බව මහ බැංකුව සඳහන් කරයි.

2026 අප්‍රේල් මාසයේ සිට බාහිර ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී ඇති අතර, ඉහළ ඉන්ධන ආනයන වියදම් හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වීම සහ සංචාරක ආදායම් මන්දගාමී වීම ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

කෙසේ වෙතත්, මෑතකදී ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් මෝටර් රථ ඇතුළු ආනයන සඳහා වන ඉල්ලුම ඉදිරියේදී අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2026 වසරේ මේ දක්වා විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශක්තිමත්ව පැවති අතර, විදේශ ණය සේවා ගෙවීම් සිදුකරන අතරතුර ජුනි මස අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.45ක් ලෙස වාර්තා වී තිබේ.

එමෙන්ම, පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල යම් තරමකට ස්ථාවර වී ඇති බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.