විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

July 22, 2026   05:30 am


යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් එරට හමුදා ප්‍රධානියා වූ ඔලෙක්සැන්ඩර් සර්ස්කි එම ධුරයෙන් ඉවත් කර තිබේ.

ජනපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, එරට ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු දින කිහිපයක් පුරා රට පුරා පැවති විරෝධතා මධ්‍යයේය.

35 හැවිරිදි ෆෙදොරොව්, ආරක්ෂක අමාත්‍යාංශය නවීකරණය කිරීම, හමුදාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයෙකි. එහෙත් 60 හැවිරිදි සර්ස්කි, හමුදාව තුළ අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට මැලිවන පැරණි සෝවියට්  නායකයෙකු වශයෙන් ඇතැමුන් විසින් විවේචන එල්ල කර තිබුණි.

සර්ස්කි වෙනුවට මේ වනවිට 43 හැවිරිදි යුද අත්දැකීම් බහුල ජෙනරාල් මයිකයිලෝ ඩ්‍රපටි (Mykhailo Drapatyi) පත් කර ඇත.

2022 වසරේ රුසියානු ආක්‍රමණයේ මුල් අවධියේ කියුව් නගරය ආරක්ෂා කිරීම ඇතුළු සර්ස්කිගේ සේවය අගය කරමින් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් ද දමා තිබේ. 

එමෙන්ම ෆෙදොරොව්ට රජයේ වැදගත් නව තනතුරක් ලබාදීමට යෝජනා කළ බවද ඔහු සඳහන් කර ඇත.

නව හමුදාපති ලෙස පත් වූ ඩ්‍රපටිට සුබ පැතුම් එක් කළ ෆෙදොරොව්, එම පත් කිරීම "නිදහස සහ යුක්තිය වෙනුවෙන් වන අරගලයට නව බලාපොරොත්තුවක්" බව සඳහන් කර ඇත.