අල්ලස් ලබා ගත් මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
July 21, 2026 08:59 pm
අල්ලස් චෝදනා මත කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලයේ සේවයේ නියුතු ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට අදාළ පැමිණිලිකරු විසින් 2018 වසරේදී මිලදී ගෙන මේ දක්වා පදිංචිව සිටින නිවසකට මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පැමිණ පැමිණිලිකරුගේ නිවසේ උඩ තට්ටුව හා යට තට්ටුවට වෙන් වෙන් වශයෙන් වරිපනම් ගෙවිය යුතු බවට කරන ලද දැන්වීමකට අනුව පැමිණිලිකරු එම නිලදාරීන් විසින් ඉල්ලූ ලේඛන සකස් කර භාර දී තිබේ.
පසුව මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක නිවසට පැමිණ නිවස පරීක්ෂා කර බලා සැලසුමේ හා නිවසේ තක්සේරුවේ ගැටලුවක් ඇති බවට දන්වා එය ප්‍රශ්නයක් නොවන ආකාරයට හා පැමිණිලිකරුගේ නමින් වරිපනම් ගෙවීමට අවශ්‍ය කටයුතු කරවා දීමට අල්ලස් වශයෙන් රුපියල් 25,000ක මුදලක් ඉල්ලා තිබේ.
ඒ අනුව එම අල්ලස් මුදල ලබා ගැනීම සහ අල්ලස් චෝදනා මත සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (22) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
